December 25 - නත්තල් දිනය

 දවසේ දැනමුතු | නත්තල් දිනය.

නත්තල නැතහොත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත යනු ලෝ වාසී සැමට සාමය, සතුට ගෙනෙන ශුද්ධවත් කාලයක් ලෙස කතෝලික බැතිමතුන් විසින් සලකනු ලැබේ.‍ මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා යන නමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ, මරියා නමැති කන්‍යාවගෙන් උපත ලැබූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි. ජේසුස් වහන්සේ හෙවත් ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙම් නුවර දී මරිය තුමියට සහ තම සුරැකි පියා වන ජුසේ තුමාට ඉපදුණු බව සඳහන් වේ.
ප්‍රසිද්ධ සම්ප්‍රධායට අනුව මෙම උපත ගව ලෙනක දී සිදුවී ඇත. දේව දූතයකු විසින් මෙම ගවලෙන අසල සිටි එ‍‍ඬේරුන් හට ජේසුස් වහන්සේගේ උපත ගැන පවසා තිබේ. මේ කාලයට සෑම කිතුණු නිවෙසකම ජේසු තුමන් ඉපදුණු ගව ලෙන සහ අදාළ චරිත කලාත්මක ප්‍රතිරූපවලින් නිරූපණය කෙරෙන අතර මෙම ප්‍රතිරූප අතරින් ජේසු තුමන් බැලීමට පැමිණි රජ තුන් කට්ටුවට ද වැදගත් ස්ථානයක් හිමි වේ. ඔවුන් ‍බෙත්ලෙහෙමේ තරුව නමින් හැඳින්වෙන වල්ගා තරුව පසුපස පැමිණ, ජේසු තුමන් වෙත රත්තරන්, සුවඳලාටු සහ සුවඳ දුම් පුද කර ඇත.
එසේම විවිධ සැරසිලි මෙම නත්තල් සමය තුළ දැක ගැනීමට හැකි වේ. ඒ අතරින් නත්තල් ගස ප්‍රධාන ස්ථානයක් ගන්නා අතර නත්තල් ගස්, විදුලි බුබුලු සහ විසිතුරු සැරසිලිවලින් අලංකාර කරනු ලැබේ. මේ නත්තල් ගසේ මූලාරම්භය සිදු ව ඇත්තේ ජර්මනියෙන් ය.
නත්තල් උත්සව දිනයේ දී පවුලේ සාමාජිකයින් අතර සහ යහළුවන්, නෑදෑයින්, අසල්වැසියන් අතර තෑගි හුවමාරු කර ගැනීම ද විශේෂත්වයකි. සාමය, සතුට සහ ප්‍රේමය මෙමඟින් නිරූපණය කරයි.

Last modified: Friday, 1 April 2022, 6:38 AM