අඹ ජාතකය 121

Written by

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි එක්තරා කුලපුත‍්‍රයෙක් ළැදිව මහණ වූ කළමනා වත්පිළිවෙත් මහත් පිළිවෙත් සතළිසක් හා සූක්ෂම පිළිවෙත් අසූවක් පුරාගෙන හැමදීම්, මළුහැමදීම්,පෙත්මන් හැමදීම්,ධර්මශාලා හැමදීම්,සඞඝාරාම හැමදීම් හා පින්පැන් තැබීම් යනාදීන් නොකුසීතව කරන සේක, උන්වහන්සේ වත්පිළිවෙත් කිරීමෙහි ප‍්‍රසන්නව උපාසකවරුන් විසින් පන්සියයක් පමණ පාත‍්‍ර දවස්පතා උන්වහන්සේට තිබූහ. ඒ පාත‍්‍ර පන්සියයක් බොහෝ දෙනා වහන්සේට ලාභවිය,මේ කථාව දම්සභාමණ්ඩපයෙහි රැස්ව වැඩඋන් මහලුවරුන් වහන්සේ කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි, මා එන්නාට පූර්වභාගයෙහිකිනම් කථාවකින් යුක්තව උනුදැ’යි විචාරා වදාරා අසවල් නම නිසා ලාභ සත්කාර පැමිණි නියාව කිය කියා උනුම්හයි දැන්වූ කල “මහණෙනි දැන් මතු නොවෙයි, පළමුත් මුන් පිළිවන් වතාවත් නිසා බොහෝ ලාභ සත්කාර පැමිණියේ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

 

ඒ කෙසේද යත්,

 

යටගිය දවස බරණැස් නුවර බ‍්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ප‍්‍රසිද්ධ බ‍්‍රාහ්මණ කුලයක ඉපද පඤ්චකාමයෙහි ආදීනව දැක පන්සියයක් තාපසවරුන් ඇතිව හිමාලය වනයෙහි ගණ ජ්‍යෙෂ්ඨව වාසය කරනසේක. එසමයෙහි හිමාලය වනයෙහි වැසි නො වැස ළිංපොකුණුවල පැන්සිඳී සිව්පාවෝත් පැන් නො ලැබ විඩාපත්ව දුක් විදිනාහ. එසමයෙහි පන්සියයක් තාපසවරුන් අතුරෙන් එක් තාපසකෙනෙක් ගසක් කපා ඔරුවක් කැණ සිව්පාවුන්ට පැන් ඇද වත්කරන්නාහ. සිව්පාවුන් ආ ආ සේ පැන් ඇද වත්කරනා විසින් පලාඵල කඩායන්ට කල් නැතිව විඳිනා ආයාස සිව්පාවෝ දැන උනුනුන් හා කථා කරන්නෝ තාපසයන්ගෙන් පැන්ගන්ට යම්හයි සිව්පාකෙනෙක් තමතමන්ට පිළිවන් යම් යම් විවර අඹ කොස් ආදී වූ දෙය ගෙන එත්වයි උනුන්ට විධානකොට ඒ නියාවට ගෙන දසඅටක් ගැල් පුරායන විවර දවස්පතා රැස්කරන්නාහ. ඒ රැස්කළ දෙය පන්සියයක් තාපසවරුන් බෙදා වළඳන්නාහ. ඉතුරුවූ දෙය වල දමන්නාහ.

 

මෙපමණත් දැන බෝධිසත්වයෝ තාපසවරුන්ට අවවාද කියන්නාහු අසවල් තාපසයන්ගේ වීය්‍යයෙන් අපි පන්සියයක් දෙනම පලාඵල පිණිස වනයට නො ගොස් උන්පළම ඉඳම මිහිරි ඵලාඵල ප‍්‍රයෝජන විඳිම්හයි, එසේහෙයින් ගෘහස්ථව වුවත් ප‍්‍රවෘජ්ජිතවූවත් වීර්ය කළයුතු යයි වදාරා එසමයෙහි පැන් ඇද වත්කළ තාපසයෝ නම් මෙසමයෙහි වතාවත් ව්‍යස්ථිතව කරන ලද්දාවූ භික්ෂූහු ය. ගණජ්‍යෙෂඨ වූ තාපසයෝ නම් බුදුවූ මම් ම වේදැ’යි වදාරා මේ අඹ ජාතකය නිමවා වදාළ සේක.

 

උපුටා ගැනීම- පන්සියපනස් ජාතක පොත් වහන්සේ

Read 2708 times
logo கல்விச் சீர்திருத்தங்கள், திறந்த பல்கலைக்கழகங்கள் மற்றும் தொலைக்கல்வி மேம்பாட்டு இராஜாங்க அமைச்சு பக்க வரிசைப்படுத்தல் | மறுப்பு
பதிப்புரிமை © 2012-2021 | கல்விச் சீர்திருத்தங்கள், திறந்த பல்கலைக்கழகங்கள் மற்றும் தொலைக்கல்வி மேம்பாட்டு இராஜாங்க அமைச்சு