අමරා දේවි (ප‍්‍රශ්නය) ජාතකය 534

ලිපිය සැකසීම :

මේ උම්මග්ග ජාතකයෙහි මහොෂධ පණ්ඩිතයන් වහන්සේ අමරා දේවී ප‍්‍රශ්නය විසඳූ නියාව දැක්වෙයි.

 

ජාතක කථාව :- එතැන් පටන් මහෞෂධ පණ්ඩිතයන්ගේ යසස කිරිමුහුද පරිද්දෙන් මහත් වූයේය. උදුම්බරා දේවිය පණ්ඩිතයන්ගේ දුක සැප නිතර විචාරන්නී සොළොස් හැවිරිදි වූ කල මාගේ මලණුවෝ වැඩිමලුව සිටගත. යශසත් මහත. උන්ට සමාන කුලයකින් සරණපාවා දෙන්ට සුදුසුයයි සිතූ එපවත් රජ්ජුරුවන්ට දැන්වූහ. රජ්ජුරුවෝ ද සොම්නස්ව යහපත සොඳුර එපවත් උන්ට කියව’යි කීහ. එය දැනගත් පණ්ඩිතයන් වහන්සේ “අනුන් පාවාදෙන කුමාරිකාවක් කිසිසේත් මට අභිප‍්‍රාය නො වන්නීය. එහෙයින් මමම පළමුකොට සොයා ගනිමි”යි සිතා “දේවීන් වහන්ස, කීප දවසක් රජ්ජුරුවන් වහන්සේට මා අසවල් කාර්යයට ගියයි නො කිව මැනව, කුමාරිකාවත් පරීක්‍ෂාකොට ඔබ වහන්සේට දන්වා ලමි”යි කීහ.

 

එසේ පවසා එක්තරා වේශයකින් සන්නාලි උපකරණ ගෙන හුදකලාව උතුරු වාසල් දොරින් නික්ම උතුරු යවමැදුම් ගමට වැඩිසේක. එගම දුප්පත්ව සිටි පුරාතන සිටුකුලයෙක ‘අමරාදේවී’ නම් රූපත් මහා පිනැති දුවක් වූවාය. ඈ එදවස හුළුකැන් පිසගෙන පියාණන් සානතැනට යන්නී පණ්ඩිතයන් වඩනා මගට පිළිපන්හ. පණ්ඩිතයන් වහන්සේ ඒ කුමාරිකාව දැක “මෝ තොමෝ මට බිරින්දට සුදුසුය”යි සිතූසේක. අමරා දේවිය ද පණ්ඩිතයන් දැකලා ඉදින් මෙබඳු පුරුෂයෙක් ඇත්නම් වස්තු රැස්කරන්ට පිළිවනැයි සිතූහ.

 

ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ මැගේ සැමියන් ඇති නැති බව නො දනිමි. එපවත් හස්ත මුද්‍රායෙන් විචාරමි. ඉදින් මෙ නුවණැත්තී වී නම් එය දැන ගන්නී යයි සිතා දුර සිට ම “ඇඟිලි හකුළුවා මිට හළසේක”. ඈත් මේ පුරුෂයා මාගෙන් සැමියන් ඇත්ත නැත්ත විචාරන්නේයයි දැන “අත්ල විදහාලූහ” පණ්ඩිතයන් වහන්සේ ඈ සරණ නූනබව දැන, සමීපයට ගොස් සොඳුර! තෙපි කිනම්මු දැයි විචාළේය. “ස්වාමීනී, ගිය දවස වේවයි දැන් වේවයි මතු දවස වේවයි මුළු ලෝකයෙහි යම් නමෙක් ඇත්නම් මම ඒ නමි”යි කීහ. ඇගේ නම ‘අමරා’ බව දැනගත් පණ්ඩිතයන් වහන්සේ සොඳුර කවුරුන්ට කැඳගෙන යව්දැයි විචාළහ. පූර්ව දේවතාවන්ට යයි කීහ. පූර්ව දේවතාවෝ නම් මව්පියෝ ය. තොපගේ සිටාණෝ කුමක් කෙරෙත්දැයි විචාළහ. එකක් දෙකක් කෙරෙතියි කීහ. එකක් දෙකක් කිරීම නම් සී සෑම ය. තොපගේ පියාණෝ කොතනක සාත්දැයි විචාළසේක. ‘යම් තැනකට එක්වරක් ගිය කෙනෙක් නො එද්ද එතැනය’යි කීහ. එසේ තැන නම් සොහොන ය. සාන්නේ සොහොනක් සමීපයේ ය. සොඳුර! අදම එව්දැයි විචාළසේක. ඉදින් ආවොත් නො එමි. නාවොත් එමි. කීහ පියා ගඟකින් එතර සාති. ගඟදිය ආවොත් නො එන නියාව කී බව තේරුම්ගෙන එසේදැයි විමසීය. එසේයයි කීහ. ඉක්බිති අමරාදේවී හුළුකැන් පූවමැන. ස්වාමීනි පැවරූහ.

 

පණ්ඩිතයන් වහන්සේ ප‍්‍රථමයෙන් කළ ආරාධනාව නොඉවසීම අවමඟුලැයි සිතා යහපත බොමි’යි වදාළසේක. අමරාදේවිය කැඳසැලිය ඉසින් බා තැබූහ. පණ්ඩිතයන් වහන්සේ ‘ඉදින් මණ්ඩය නොදෙව අතට පැන් නො දී ම කැඳ අතට දිනි නම් මෙතැනම හැරපියා යෙමි’යි සිතූසේක. ඈ මණ්ඩයෙන් පැන් ගෙන අතට දීලා සිස් මණ්ඩය අත නො තබා බිම තබා සැළියේ කැඳ අල්ලා හුළු කැනින් මණ්ඩය පුරාලූහ. ඒ කැඳෙහි හුළු මඳ වූයේය. පණ්ඩිතයන් වහන්සේ කිමෙක්ද? සොඳුර! හුළුකැන් ඉතාම බොල්වනැයි වදාළසේක. පැන් නො ලද්දේය ස්වාමීනි’යි කීහ. තොපගේ කුඹුර පූදිනා අහදිය නො ලද්දයි සිතමි’යි වදාරා හුළු කැන් සියල්ලම පානය කොට අත කට සෝදා සොඳුර! තොපගේ ගෙට මග කියවයි වදාළසේක. අමරාදේවිය යහපතැයි, ගෙට මග කියන්නී “මේ මග ඔස්සේ ගොස් ඇතුළු ගමට වන් කල යම් තැනක අත්සුණු තබා විකුණන සල්පිලක් ද ඉන් ඔබ්බට ගියකල යම් අතකින් අනුභව කරත් ද ඒ අත මග යන්ට කියමි. ඒ යව මැඳුම්ගම අපගේ දෙමාපියන්ගේ ගෙට මඟ ය. මා හඟවා කී මග දැන වදාළ මැනවයි” කීහ.

 

උපුටා ගැනීම- පන්සියපනස් ජාතක පොත් වහන්සේ

3474 වරක් කියවා ඇත.
logo නිර්මාණය :
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2021 | අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.