අභිණ්හ ජාතකය 27

ලිපිය සැකසීම :

තවද එක්සමයෙක්හි බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් එක් උපාසකයකු හා මහලු තෙරුණුකෙනකුන් අරභයා මේ ජාතකය වදාළ සේක. සැවැත්නුවර වාසයකරන්නා වූ යහළුවෝ දෙදෙනෙක් වූවාහු ය. ඔවුන් අතුරෙහි එක් කෙනක් පැවිදිව දවසක් දවසක් පාසා උපාසකයාගේ ගෙට වඩනා සේක. උපාසක තෙමේ තෙරුන්වහන්සේට ආහාර පිළිගන්වා තෙමේ ද ආහාර අනුභවකොට උන්වහන්සේ හා සමග විහාරයට අවුත් සුර්යයා අස්තාංගවන තැන් දක්වා ඔබිනොබ කථා කිරීමෙන්ද හිඳ නුවරට යන්නේය. තෙරුණ් වහන්සේ ද නුවර වහසල් දොර දක්වා ඒ උපාසකයා එක්ව ගොස් නවත්නාසේක. ඒ දෙදෙනා විශ්වාස බව භික්ෂූන් වහන්සේ අතුරෙහි ප‍්‍රකාශ වූයේය. ඉක්බිත්තෙන් එක් දවසක් භික්ෂූහු ඔවුන් දෙදෙනා ගේ විශ්වාස කථාව කියමින් දම්සභාමණ්ඩපයෙහි උන්නාහුය. සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි, මේ දම්සභාවෙහි දැන් මා එන්නට පූර්ව භාගයෙහි කවර නම්කථාවකින් යුක්තව උන්නාහුදැයි විචාරා, ස්වාමීන් වහන්ස මේ නම් කථාවකිනැයි දැන් වූ කල්හි සර්වඥයන් වහන්සේවදාරන සේක් මහණෙනි. මොහුන් දෙදෙන විශ්වාස වූවෝ දැන් මතු නොවෙයි පෙරත් විශ්වාස වූවාහුයයි වදාරාඉකුත්වත් දක්වා වදාළ සේක.

 

යටගිය දවස බරණැස් නුවර බ‍්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන කල්හි අප මහා බෝසතාණන් වහන්සේ ඒ රජහට අමාත්‍යයෙක් වූ සේක. එකල්හි එක් සුනඛයෙක් මගුල් ඇත්හලට ගොස් මගුල් ඇතා අනුභව කරන තන්හි වැටුනා වූ බත්හුළු අනුභව කරන්නේය. ඒ සුනඛතෙම ඒ ආහාරයෙන්ම වැඩෙනු ලබන්නේ මගුලැතාට විශ්වාස වූයේය. සුනඛයා හස්තියාගේ සමීපයෙන්ම අනුභව කරන්නේය. දෙදෙනාම වෙන්ව වසන්නට නො හැකි වෙති. සුනඛතෙම හස්තියාගේ සොඬ ගෙන ඔබිනොබ කෙරෙමින් කෙළනේය.

 

එසේ කල්හි එක් දවසක් පිටිසර වැසි එක් ග‍්‍රාමික මනුෂ්‍යයෙක් ඇත්ගොව්වාට මිලදී ඒ සුනඛයා ගෙන තමාගේ ගමට ගියේය. එතැන් පටන් ඒ හස්තියා සුනඛයා නො දක්නේ ගොදුරු නොම අනුභව කරන්නේය. පැන් නො බොන්නේය. නොම නහන්නේය. ඒ කාරණය රජහට දැන්වූවාහුය. රජ්ජුරුවෝ බෝධිසත්වයන් වහන්සේට වදාරණ සේක්, යව පණ්ඩිතයෙනි දැනගනුව කවර කාරණයකින් හස්තිරාජ තෙම මෙලෙස කරන්නේ දැ’යි කියා යැවු සේක. බෝධිසත්වයන් වහන්සේ හස්තිශාලාවට ගොස් හස්තියාගේ දොම්නස් බැව් දැන මොහුගේ ශරීරයෙහි රෝගයක් නොපෙනෙන්නේය. මොහුගේ වනාහී කිසිකෙනෙකුන් හා සමග මිත‍්‍රසන්තවයක් විය යුතුයයි ඔහු නො දක්නේ මේ තෙමෙ ශෝකයෙන් මඩනා ලද්දේවනැයි සිතා හස්ත්‍යාචාර්යයා අතින් විචාරණසේක්, මොහුගේ කිසිකෙනෙක් හා සමග විශ්වාස බවක් ඇද්දෝහෝයි විචාළ සේක. ස්වාමීන් වහන්ස එසේය, එක් සුනඛයෙකු හා එක්ව බලවත් මිත‍්‍රකමක් ඇත්තේය’යි කීය. දැන් ඒ සුනඛයා කොයිදැයි විචාළසේක. එක් මනුෂ්‍යයෙකු විසින් ගෙන යන ලද්දේය. ඔහු වාසය කරන තැන් දන්නේ දැයි කී සේක. ස්වාමීන් වහන්ස, නො දනිමි කීහ. බෝධිසත්වයන් වහන්සේ රජුගේ සමීපයට ගොස් මහරජ්ජුරුවන් වහන්ස, හස්තියාට කිසි ආබාධයක් නැත්තේය. ඕහට වනාහී එක් සුනඛයෙකු හා සමග බලවත් විශ්වාසයක් වූයේය. ඒ සුනඛයා නො දක්නා වූ හස්තිරාජ තෙම භෝජනය අනුභව නො කෙරෙයි සිතමියි කියා මෙසේ කීසේක.

 

මහරජ, බතට පළමු කොට දෙන කටුක ‍‍‍‍‍‍‍ෛභාෂජ්‍යයෙන් යුක්ත පිඬුගන්නට නො පොහොසත. පිඬු කොට දෙන භෝජනය ගන්නට නො පොහොසත. කුශතෘණ ද අනුභව කරන්නට නො පොහොසත. නහන වේලෙහි ශරීරාවර්තනය කරන්නටද නොපොහසත, නිරන්තර දර්ශනය හේතු කොට ගෙන හස්තිරාජ තෙම සුනඛයා කෙරහි සෙනහ කෙළේයයි සිතමි’යි කී සේක. මෙසේ යමක් යමක් ඒ හස්තිරාජයාකරන්නට නො හැකිද ඒ සියල්ලම රජහට දැන්වූ සේක. රජ්ජුරුවෝ බෝධිසත්වයන් වහන්සේගේ වචනය අසා පණ්ඩිතයන් වහන්ස, දැන් කවරක් කටයුතු දැයි විචාළසේක. අපගේ මගුලැ’තාගේ යහළු සුනඛ තෙම එක් ගම්වැසි මනුෂ්‍යයෙක් ගෙන ගියේය. යමක්හුගේ ගෙයි ඒ සුනඛයා දුටුවොත් ඕහට මේ බඳු දඩයක් කියා බෙර ලව මහරජයි කිසේක. රජතෙම එලෙස කරවූයේය. ඒ ප‍්‍රවෘත්තිය අසා ඒ පුරුෂතෙම සුනඛයා හැරියේය. සුනඛතෙම ශීඝ‍්‍රයෙන් ගොස් හස්තියාගේ සමීපයට ම ගියේය. හස්ති තෙමෙ සුනඛයා සොඬින් ගෙන කුම්භස්ථලයෙහි තබා හඬා වැලප පියා කුම්භස්ථලයෙන් බස්වා ඔහු විසින් ආහාරය අනුභව කළ කල්හි පසුව තෙමේ අනුභව කෙළේය. තිරශ්චිනයාගේ අභිප‍්‍රාය දත්තේයයි කියා රජ්ජුරුවෝ බෝධිසත්වයන් වහන්සේට මහත් ඓශ්චර්ය දුන්සේක. ශාස්තෲන් වහන්සේ වදාරණ සේක් මහනෙනි, මොහු දෙදෙන විස්වාසවූවෝ දැන් මතු නොවෙයි පෙරත් විස්වාසවූවාහුයයි කියා මේ ධර්මදේශනාව ගෙන හැර දක්වා චතුස්සත්‍ය දේශනාව වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ අභිණ්හ ජාතකය නිමවා වදාළ සේක.

 

මේ චතුස්සත්‍ය දේශනාව කීම සියලු ජාතකවල ම ඇත්තේය. අපි වනාහි චතුස්සත්‍යය යම් තැනෙක්හි ආනිසංස පෙනේද එතැන්හි දක්වමු. එසමයෙහි සුනඛතෙමෙ දැන් මේ උපාසක වූයේය. හස්ති තෙම දැන් මේ මහල්ලක ස්ථවිර වූයේය. පණ්ඩිත අමාත්‍යව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

උපුටා ගැනීම- පන්සියපනස් ජාතක පොත් වහන්සේ

2643 වරක් කියවා ඇත.
logo නිර්මාණය :
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2021 | අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.