අඝාතරූප ජාතකය 100

ලිපිය සැකසීම :

තවද එක්සමයෙක්හි වීතචෙෂීවූ තිලෝගුර බුදුරජාණන්වහන්සේ කොධන නම් නිවර නිසා කුඬාධාන වනයෙහි වසනසේක්. කෝලිය රජ්ජුරුවන්ගේ දූ වූ සූප්පවාසා නම් උපාසිකාව අරභයා මේ ජාතකය වදාළසේක.

 

ඒ සුප්පවාසා නම් උපාසිකාතොමෝ එසමයෙහි සත් අවුරුද්දක් මුළුල්ලෙහි කුසින් දරුගැබ පරිහරණය කොට සතියක් මුළුල්ලෙහි ගර්භයෙන් මූඪව ඉතා මහත්වූ වේදනා උපන්නේ ය. ඒ උපාසිකාව මෙසේ අධික ප‍්‍රමාණ වූ වේදනාවෙන් පීඩිතවත් බුදුගුණ කියන්නී “යම් සර්වඥකෙනෙකුන් වහන්සේ මෙබඳු වූ දුක් තරණය පිණිස ධර්මදේශනා කරනසේක් වී නම් ඒ භාග්‍යවත් වූ බුදුරජාණන්වහන්සේ ඒකාන්තයෙන් සර්වධර්මයන් සර්වකාරයෙන් පරෝපදේශ රහිතව දත්තේය. යම් අෂ්ටාර්ය පුද්ගල භික්ෂූ සමූහයෙක් මෙබඳුවූ දුක් දුරු කරන පිණිස පිළිපන්නේ වී නම් භාග්‍යවත් වූ බුදුරජාණන්වහන්සේගේ ශ‍්‍රාවක සංඝයා ඒකාන්තයෙන් මොනවට පිළිපන්නේ ය, යම් නිර්වාණ ධර්මයෙක්හි මෙබඳු වූ දුක්ඛයෙන් නැත්තේ වී නම් ඒකාන්තයෙන් ඒ නිර්වාණ ධර්මය සැප වන්නේය”යන මේ ත‍්‍රිවිධානුසමඃතියෙන් යුක්තව ඉවසූය.

 

ඒ සූප්පවාසා නම් උපාසිකා තොමෝ තමාගේ ස්වාමිපුරුෂයා ළඟට කැඳවා තමාගේ පවතුන් මේ නමස්කාර අස්නත් කියන පිණිස සර්වඥයන්වහන්සේ සමීපයට යවූහ. සර්වඥයන්වහන්සේ නමස්කාර අසුන් අසා “සුප්පවාසා නම් කෝලිය රජ දූ සුවපත්වේව’යි, නිරෝගිවේව’යි, පුතකු වදාව’යි” කීසේක. සර්වඥයන්වහන්සේගේ ඒ වචනය හා සමගම සුප්පවාසා නම්වූ කෝලිය රජදුව සුවපත්ව නිරෝගී පුතෙකු වැදූහ. ඉක්බිත්තෙන් ඒ උපාසිකාවගේ වල්ලභයා ගෙට ගොස් ඒ උපාසිකාව වැදූ නියාව දැක පින්වත්නී, ඒකාන්තයෙන් ආශ්චර්යයයෙකැයි අතිශයින් බුද්ධානුභාවයෙන් ආශ්චර්ය අත්භූතවූ සිත් ඇතිව සුප්පවාසා නම් උපාසිකාවත් පුතකු වදා සතියක් මුළුල්ලෙහි බුදුන් ප‍්‍රධානකොට ඇති භික්ෂු සංඝයා වහන්සේට දන්දෙනු කැමතිව නැවත ආරාධනා කරුණු සඳහා තමාගේ ස්වාමිපුරුෂයා යවූහ.

 

එසමයෙහි මුගලන් මහතෙරුන්වහන්සේගේ උපාසකයක්හු විසින් බුදුන් ප‍්‍රධානකොට ඇති භික්ෂු සංඝයා වහන්සේ පවරනලදසේක. සර්වඥයන්වහන්සේ සුප්පවාසාවන්ගේ දනට අවසර දෙන පිණිස මුගලන් මහතෙරුන්වහන්සේ ඒ උපාසකයා සමීපයට යවා ඔහු ගිවිස්වා සතියක් මුළුල්ලෙහි භික්ෂූන් වහන්සේ හා සමඟ ඒ සුප්පවාසාවන්ගේ දන් පිළිගත්සේක. සත්වෙනි දවස් සුප්පවාසාවෝ පුතණුවන් සීවලී කුමාරයන් සරහා භික්ෂු සංඝයා වහන්සේ වැන්දවූය. ඒ කුමාරයන් පිළිවෙළින් සැරියුත් මහතෙරුන්වහන්සේ සමීපයට ගෙනගිය කල්හි තෙරුන්වහන්සේ ඒ කුමාරයන් සමග කිමෙක් ද? සීවලීනි, තොපට සැපදැ’යි සුවදුක් කථා කළ සේක. එවිට කුමාරයෝ කියන්නෝ ‘ස්වාමීනි මට සැපයෙක් නම් කොයින්ද? මම සත් අවුරුද්දක් මුළුල්ලෙහි ලොහෝකුඹුනිරයක් වැනිවූ මව්කුස විසූයෙම් වේදැ’යි තෙරුන්වහන්සේ හා සමඟ මෙබඳු කථාවක් කළෝ ය.

 

සුප්පවාසාවෝ ඒ කුමාරයන්ගේ බස් අසා උපන් සතියෙන් ම මාගේ පුතණුවෝ අනු බුද්ධවූ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ හා සමග කථා කෙරෙ’යි සොම්නසට පැමිණියෝය. සර්වඥයන් වහන්සේ සුප්පවාසාව අතින් මෙබඳු වූ දරුවන් කැමැත්තේදැ’යි විචාළසේක. ස්වාමීනි, ඉදින් මෙබඳුවූ සෙසුත් දරුවන් සත්දෙනෙකු ලද්දේවීන්නම් මම කැමැත්තෙම් වේදැ’යි කිවේය. සර්වඥයන් වහන්සේ උදම් අනා අනුමෙවෙනි ධර්ම දේශනාකොට වැඩිසේක. සීවලී කුමරුවෝත් සත් ඇවිරිදි කල ම ශාසනයෙහි ළැදිව මහණව විසි වයස පිරුණ කල්හි උපසම්පදාව ලැබ, පිනැ’තිව ලාභයෙන් අග‍්‍රප‍්‍රාප්තව මහී කම්පාකරවා අර්හත්ඵලයට පැමිණ පිනැත්තවුන් අතුරෙන් ඒතදගග තනතුරට පැමිණිසේක.

 

ඉක්බිත්තෙන් එක් දවසක් භික්ෂූන් වහන්සේ ධම්සභා මණ්ඩපයට රැස්ව “ඇවැත්නි සීවලී ස්ථවිරයන්වහන්සේ සත් අවුරුද්දක් මුළුල්ලෙහි මව්කුසෙහි වැස සත් දවසක් ගර්භමූඪ බවට පැමිණිසේක. අනේ දෙපුතු මව් මහාදුක් අනුභව කළාහුය. කෙබදු කළෝදැ”යි කථාවක් උපදවා උන්සේක. ශාස්තෘ වූ තිලෝගුරු බුදුරජාණන්වහන්සේ එතනටම වැඩ වදාරා මහණෙනි, දැන් කවරනම් කථාවකින් යුක්තව හුනුදැ’යි විචාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හ’යි කී කල්හි මහණෙනි, මහපිනැත්තා වූ සීවලී ස්ථවිරයන්ට සත් අවුරුද්දක් මුළුල්ලෙහි ලෝකුඹුනරකාදිය හා සමාන මව්කුස වාසය ද සතියක් මුළුල්ලෙහි ගර්භමූඪ බවට පැමිණීමත් ඔවුන් විසින්ම කළ කර්මය මුල්කොට ඇත්තේ ද සුප්පවාසාවන්ට සත්අවුරුද්දක් මුළුල්ලෙහි කුසින් දරුගැබ පරිහරණය කරන්නාවූ දුකුත් සතියක් මුළුල්ලෙහි ගර්භමූඪවූ දුකුත් තමන් කළ කර්මය මුල්කොට ඇත්තේ යයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

 

යටගිය දවස බරණැස් නුවර බ‍්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරන කල්හි අප මහබෝසතානෝ රජ්ජුරුවන්ගේ අග‍්‍රමහේසිකාවන්ගේ කුස පිළිසිඳ ගෙන වැඩිවිය පැමිණ තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් සමීපයෙන් සිල්ප ඉගෙන පියානන් ඇවෑමෙන් දැහැමෙන් රාජ්‍යය ගෙන රජ්ජුරුවන් ජීවිතක්ෂයට පමුණුවා රජ්ජුරුවන්ගේම අගමෙහෙසුන් තමන්ට අගමෙහෙසුන් කළෝය. බරණැස්නුවර රජ්ජුරුවන්ගේ පුතණුවෝ පියාණන් මළ කල්හි වාරි මාර්ගයෙන් පලාගොස් සේනාව රැස්කරවා බරණැස්නුවරට අවුත් නුදුරුතෙනක හිඳ රජ්ජුරුවන්ට රාජ්‍ය හෝ දුන මැනව. යුද්ධය හෝ කළමැනවැයි පත් යවූහ. එකල කෝසල රජ්ජුරුවෝ යුද්ධ කෙරෙමි පෙරලා පත් යවූහ. රාජකුමාරයන්ගේ මෑණියෝ ඒ අසුන් අසා යුද්ධයන් කම්නැත. හැමදිගම සංචාරය සිඳ බරණැස් රජ වටලා ගණුව.

 

ඉක්බිත්තෙන් දර පැන්බත් ආදිය නිමාගිය කල්හි ආහාරයෙන් පීඩිත වූ මනුෂ්‍යයන් ඇති නුවර යුද්ධයක් නැතිවම ගන්නාමෝදැ’යි පතක් යවූහ. ඒ රාජකුමාරයෝ මෑණියන්ගෙන් එවූ අසුන් අසා සත් දවසක් මුළුල්ලෙහි සංචාරය සිඳ නුවර වටලාගත්තුය. නුවර ඇතුළට පැමිණියාවූ සත්වයෝ මැදිරිය හසුවූ පක්ෂීන් පරිද්දෙන් විය. සත්වෙනි දවස් ඒ කොසොල් රජ්ජුරුවන්ගේ හිස ගෙනවුත් කුමාරයන්ට දුන්නාහුය. කුමාරයෝ නුවරට වැද රාජ්‍යය ගෙන රාජ්‍ය ශ‍්‍රී අනුභව කොට කෙළවර කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහ. ඒ කුමාරයෝ සතුරු රජ්ජුරුවන්ගේ සේනාවට පීඩා කළාවූ අකුසල කර්ම විපාකයෙන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි මව්කුස වැස සතියක් මුළුල්ලෙහි ගර්භමූඪ බවට පැමිණියෝය. තව ද ඒ කුමාරයෝ පියුමතුරා නම් සර්වඥයන්වහන්සේගේ ශ‍්‍රීපාද මූලයෙහි දී ලාභීන් අතුරෙහි අග‍්‍රවෙම්වයි කියා මහදන් දී යම් ප‍්‍රාර්ථනාවක් කළෝ ද විපස්සි සර්වඥයන් සමයෙහි නුවරවාසීන් සමඟ දහසක් වස්තු අගනාවූ දී උක් සකුරු දන් දී යම් ප‍්‍රාර්ථනාවක් කළෝ ද එහි ආනුභාවයෙන් ලාභීන් කෙරෙහි අග‍්‍රවූහ. සුප්පවාසාවෝත් නුවර වටලාගෙන නිස්සඤචාරය කොට බත්පැන් වැද්දනොදී නුවර අරගනුව’යි පුතණුවන්ට කියා යවූ බැවින් සත්අවුරුද්දක් මුළුල්ලෙහි කුසින් දරුගැබ පරිහරණකොට සතියක් මුළුල්ලෙහි ගර්භමූඪවූය. ශාස්තෲ වූ බුදුරජාණන්වහන්සේ මහණෙනි ඒ දෙපුතු මවුන් මේ ගර්භ පරිහරණය ගර්භවාස සංඛ්‍යාතවූ දුක්ඛයෙන් පීඩිතවුවන් පෙර තමන් විසින් නුවර වටලා නිසසඤචාර කොට මහජනයාට දුක්දීමෙන් කළ අකුසල කර්මයෙනැයි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා අඝාතරූප ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි නුවරවටලා රාජ්‍යයට පැමිණි කුමාරයෝ නම් සීවලී ස්ථවිරයෝය, මෑණියෝ නම් සුප්පවාසාවෝය, පියවූ බරණැස්නුවර රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවු මම්ම වේදැ’යි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 

උපුටා ගැනීම- පන්සියපනස් ජාතක පොත

2817 වරක් කියවා ඇත.
logo නිර්මාණය :
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2021 | අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.