ආදිච්චුපට්ඨාණ ජාතකය 170

ලිපිය සැකසීම :

තවද ශාක්‍යකුල ප්‍රසාද වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසන සමයෙහි වංචාප්‍රයෝග දන්නා භික්ෂූන් කෙනෙකුන් අරභයා මේ ජාතකය දක්වන ලද.

 

ඒ කෙසේද යත්

 

වංචා ප්‍රයෝග දන්නා භික්ෂූ කෙනෙකුන් වහන්සේ සර්වඥයන් වහන්සේට දක්වන්නා මහණෙනි, දැන් මතු නොවෙයි පළමුත් වංචා ප්‍රයෝග දන්නේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

 

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ කසීගම බ්‍රාහ්මණකුලයක ඉපිද පඤ්චකාමයෙහි ඇලුම්හැර සෘෂිප්‍රවෘජ්ජාවෙන් මහණව හිමාලය වනයෙහි බොහෝ තාපසවරුන්ට නායකව වාසය කරන්නාහ. එසමයෙහි වස් සාරමස ලුණුඇඹුල් සපයන නිසා හිමාලය වනයෙන් බරණැස්නුවරට අවුත් ඒ ගම උපාසකවරුන්ගේ ආරාධනාවෙන් නන්වා දුන්නා වූ පන්සල වාසය කරන්නාහ.

 

එසමයෙහි එක්තරා වඳුරෙක් තාපසවරුන් වීථියෙහි සිඟායා ද මේ තාපසවරුන්ගේ පන්සල බිඳ, පැන්වලින් ආදී වූ දෙයත් බිඳ ඩබරාවල පැනුත් නමා, පන්සලෙත් වර්චස් කර මේ නියායෙන් කරන්නේය. එසමයෙහිත් තාපසවරුන් වස් තුන්මස වස්වැස අන්තයේ “උපාසකවරුනි අපි යම්හ”යි කීහ. එවිට උපාසකවරුත් “සෙටදවස අපගෙන් දෙන දන් වළඳා යන්නේය”යි කීහ. තාපසවරුත් යහපතැයි ගිවිස්සාහ. උපාසකවරුත් ඛාද්‍යභෝද්‍ය ඇතිව බත් මාළු තාපසවරුන් ඉන්නා තැනට ගෙනගියහ. ඒ වෙලාවට වඳුරුත් සිතන්නේ “මම සාන්ත දාන්ත වේශයක් දක්වාගෙන මේ ගෙනා මධුරකැවිල්ලෙන් මාත්කන්ට උවමැනව”යි සිතා මෙතෙක් සාන්තදාන්ත වේශයක්ව ඉර බලාගෙන සිටියේය. ඒ වෙලාවට තාපසවරුන්ට දන්ගෙනා උපාසකවරු වඳුරා සිටි මාන් දැක යහපතුන් ළඟ විසිගත් ගුණයෙන් මෙසේ වනැයි කියා ස්තූති කරන්ට වන්නාහ. එවිට තාපසයෝත් “මේ වඳුරාගේ යහපත් ගුණයක් නැත. මූට කුමට ස්තුති කරන්නෙහිදැ”යි කීහ. “මුන් විසින් අපගේ පන්සලවිදා ගිණිහල්වා ගෙයි වර්චස් කොට කළ ඩබරා ආදී වූ දේත් බිඳ බොහෝ අනර්ථ කරනලදැ”යි කීහ. එපවත් අසා උපාසකවරු කැටමුගුරුත් අත් ඇතිව වඳුරා ලුහුබඳවාගත්හ. තාපසවරුන් හිමාලයවනයට සැපසේ ගොස් තපස් රැක බඹලොව ගියාහයි වදාරා මේ ආදීච්චුපට්ඨාන ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි වඳුරා නම් දැන් වංචාප්‍රයෝග දන්නා භික්ෂූහුය. තාපසවරුන් නම් බුදු පිරිසය. ගන ශාස්තෲව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්ම යයි දක්වා වදාළසේක.

 

උපුටාගැනීම-පන්සියපනස් ජාතක පොත් වහන්සේ

1701 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.