Print this page

අභ්‍යන්තර ජාතකය 274

Written by

තවද සංස්කාර ලෝකය සේ කල්පනාවට ආවිෂය වූ ගුණ ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි යශෝධරා ස්ථවිරයන් වහන්සේට අඹ දුන් සැරියුත් ස්වාමීන් අරභයා මේ ජාතකය දක්වන ලද.

 

ඒ කෙසේද යත්

 

සර්වඥයන් වහන්සේ විසාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩවසන සමයෙහි ප‍්‍රජාපති ගෝතමින් වහන්සේ ගෑනුන් පන්සියයක් පිරිවරා කූටාගාර ශාලාවට අවුත්, බුදුන් අතින් භික්ෂූණි ශාසනයට අනුදැක භික්ෂූණී කරවා ගත් පසු උන්වහන්සේ උපසම්පදාව ලදින් සෝවාන්ව භාවනා උපදවා රහත්වූ පසු යශෝධරා ස්ථවිරයන් වහන්සේ සිතනසේක්, රාහුල ස්වාමින් වහන්සේත් යසෝධරා ස්ථවිරයන් වහන්සේත් සිතන සේක් රාහුල ස්වාමින් වහන්සේත් මහණ වූ පසු සුද්ධෝදන රජ්ජුරුවන් වහන්සේත් අතීතවූ පසු ඉතකින් මා ඉඳිනේ කිම්දැයි සිතා, සැවැත්නුවරට අවුත් ජේතවනාරාමයේ වැඩ උන් සර්වඥයන් වහන්සේ අතින් පැවිදි ඉල්වාගෙන මහණව උපසම්බදාව ලදින් යසෝධරා ස්ථවිරීන් වහන්සේ යයි ප‍්‍රසිද්ධව ඉන්නා සමයේ දවස විටක් යසෝධරා ස්ථවිරින් වහන්සේ තමන් වහන්සේගේ පුත් වූ රාහුල ස්වාමින් දකින්ට රාහුල ස්වාමින් වසන්නාවූ විහාරයට වඩනාසේක. එක්දවසක් යසෝධරා ස්ථිවීරින් වහන්සේවහන්සේට බඩරුජාවක් ඇතිව රාහුල ස්වාමින් දකින්ට නො ආ සේක.

 

උන්වහන්සේගේ අතවැසි භික්ෂූණී කෙනෙකුන් වහන්සේ එපවත් රාහුල ස්වාමින්ට කීසේක. රාහුල ස්වාමින් තමන්ගේ මෑණියන් වහන්සේ යසෝධරා ස්ථවිරයන්ගෙන් අඵාසු කිම්දැයි විචාරා, ‘පුතණුවන් වහන්ස බඩරුජාවක් ඇත. එසේ හෙයින් මට බොහෝ ආයසය’ යි වදාළසේක. ආදින් ලමන්දුනි මෙසේවූ අවස්ථාවක කරන්නේ කිම්දැයි විචාළසේක. පැණිඅඹ හා සකරා කෑ කල පළමුත් මේ රුජාව සමනයවෙයි කීහ. රාහුල ස්වාමිත් ‘යහපතැ’යි කියා තමන්වහන්සේට පියවූ සර්වඥයන් වහන්සේ කරානො ගොසින් සුළුපිය වූ ආනන්ද ස්වාමින් කරාත් නො ගොසින් උපාධ්‍යායවූ මුගලන් ස්වාමිත් කරාත් නො ගොසින් ගුරු වූ සැරියුත් සාමින් ළඟට ගොසින් ස්වාමිනි යසෝධරා ස්ථවිරයන්ට බඩරුජාවක් ඇත. පෙරත් සකරා හා අඹ කෑ කල බඩරුජා සන්හිඳෙයි එය ලබන්නේ කෙසේදැයි විචාළසේක. සැරියුත් ස්වාමින් යහපත, ලද්දමෝනම් දෙන්නමෝ වේදැ’යි වදාරා රාහුල ස්වාමිනුත් පස්සේලා පසේනදී කෝසල රජ්ජුරුවන්ගේ රජගෙට ගොස් රාහුල සාමණේරයන් වහන්සේ රාජංගනයෙහි සිටුවා තමන් වහන්සේ රජගෙට ගොස් රජ්ජුරුවන් ළඟ සිඟා සිටියේය.

 

එවෙලාවටම එක්තරා උයන්ගොව්වෙක් විළිස්සගිය අඹකැනක් ගෙනවිත් රජ්ජුරුවන් අතට දින. රජ්ජුරවෝ තමන්ගේ ස්වහස්තයෙන් අඹලොලා ශකිරා හා අඹ පාත‍්‍රය පුරා දුන්හ. සැරියුත් ස්වාමින් අඹ පාත‍්‍රය ගෙන මෙය තොපගේ මෑණියන්ට දෙවයි කියා රාහුල ස්වාමින් අතට දුන්සේක. රාහුල ස්වාමින් වහන්සේත් ඒ අඹ ගෙන ගොස් යසෝධරා ස්ථවිරයන් වහන්සේ අතට දුන්සේක. යශෝධරා ස්ථවිරීන් වහන්සේත් අඹ වැළඳුසේක. අඹ වැළඳූ ගමනේ බඩරුජාව ගුණය විය. කෝසල රජ්ජුරුවෝත් සැරියුත් ස්වාමින් අඹ මා ළඟදී නො වළදා ගෙන ගියසේක. කාට දෙන්න ගෙන ගියසේක් දොහෝයි බලව’යි පස්සේ මිනිසුන් යවා රාහුල ස්වාමින්ට දුන් නියාව හා රාහුල ස්වාමින් තමන්වහන්සේගේ මෑණියන් වහන්සේට දුන් පවත් අසා කෝසල රජ්ජුරුවෝ සිතන්නාහූ,

 

‘ඉදින් සර්වඥයන් වහන්සේ බුදුවූ හෙයින් අපගෙන් සිඟා වළඳා ඉන්නා පමණක් මිසක් නැත්නම් චක‍්‍රවර්තී රාජ්ජය කරන සේක් නම් අපි ඇමම උන්වහන්සේගේ පරිවාර වේද, චක‍්‍රවර්තී රාජ්ජය කරන දවසට පරිනායක රත්නව රාහුල ස්වාමින් වහන්සේ තමන්වහන්සේගේ මෑණියන් වහන්සේට බඩ රුජාව නිසා අඹ සිඟා වැඩිසේක. අපි ඇම උපාසකව ඉඳ යසෝධරා ස්ථවිරින් වහන්සේට ඇඟි නො දත්තම්හ. එසේ හෙයින් අප කළසේ නො යෙදයි’ කියා යසෝධරා ස්ථවිරින් වහන්සේට අඹ හා ශකිරා ඇම දවස්ම යවුහ. සැරියුත් ස්වාමින් නිසා යසෝධරා ස්ථවිරයන් වහන්සේට අඹ රසය නිසා බඩජාරු පහවූ බව දම්සභා මණ්ඩපයට රැස් වූ මාළුවරුන්වහන්සේ කියකියා උන්තැනට සර්වඥයන්වහන්සේ වැඩ වදාරා මහණෙනි, මා එන්නට පූර්වභාගයෙහි කවරනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන් මතු නොවෙයි පෙරත් ශාරිපුත‍්‍ර ස්ථවිරයෝ රාහුල මාතාවන්ට අඹ දුන්නේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

 

යටගිය දවස බරණැස් නුවර බ‍්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරන සමයෙහි බෝධිසත්වයෝ එක්තරා බමුණුගමෙක බමුණුව ඉපිද වැඩිවිය පැමිණ පඤ්චකාමයෙහි ආදිනව දැක සෘෂිප‍්‍රවෘජ්‍යාවෙන් පැවිදිව, බොහෝ තාපසවරුන් පිරිවරා බරණැස් රජ්ජුරුවන්ගේ මගුල් උයනෙහි වාසය කරන්නාහ. එසමයෙහි එකියන තාපසවරුන්ගේ ගුණ තේජසින් ශක‍්‍රයන්ගේ පාඩු කම්ඹලශෛලාසනය හුණුවිය. ශක‍්‍රයෝ මා නො කැමති පරිද්දෙන්උණු වන්ට කාරණා කිම්දැ’යි තමන්ගේ දිවසින් බලා එපවත් දැක ඒ තාපසවරුන් මෙකීයන උයනේ නොයිඳිනා මානයක් කෙරෙමියි, ඉඳිනා තැනින් උගුළුවාපු කල එක තැන ඉඳ එකඟව භාවනා කිරීම් නැතිව ඒ නියාවට අද මම ගොසින් රජ්ජුරුවන්ගේ අග‍්‍රමෙහෙසිකාවන්ට අභ්‍යන්තර නම් අඹ කෑවාහු වූ නම් චක‍්‍රවර්තී රාජ්ජය කරන්ට පින් ඇත්තවූ පුතණුකෙනෙකුන් උපදියි කියමි. ඒ බිසවු යහපතැ’යි කියා රජ්ජුරුවන්ට කියති. රජ්ජුරුවෝ යහපතැ’යි උයන අඹගස්වල අඹ බලවති. ඒ වෙලාවට මම උයනේ අඹගස්වල අඹ අන්තර්ධාන කරවා පියමි. රජ්ජුරුවෝ එවිට, මේ කියන උයනේ අඹ කෑවෝ කවුරුන්දැයි උයන්ගොව්වා විචාරති. එවිට උයන්ගොව්වා තාපසවරු අඹ කෑවෝයයි කියා රජ්ජුරුවන්ට කියන්නාහ. රජ්ජුරුවෝ එවිට ‘එසේ විනම් තාපසවරු මෙතනින් පහකරව’යි පහකරන්වාහු වෙති. එවිට තාපසවරුන් එකතැන විසීම නො ලබන්නාහූ සිල්රක්ෂා කිරීමෙහි පමාවන්නාහ. තාපසවරුන් සීල භේද කරන්ට මේ කාරණා වන්නේයයි සිතා එදවස් මධ්‍යම රාතී‍්‍ර වේලාවේ රජ්ජුරුවන්ගේ බිසවුන්ගේ ශී‍්‍ර යහන් ගබඩාවට ගොසින් කියන්නාහු,

 

‘අභ්‍යන්තර නම් අඹගසක අඹ තොපගේ රජ්ජුරුවන්ට කියා ගෙන්වූ නම් චක‍්‍රවර්තී රාජ්ජය කරන්ට පින් ඇති පුතණු කෙනෙක් උපදිති’ කියා දෙව්ලොවට ගියහ. බිසවුන් පින් ඇති පුතණු කෙනෙක් උපදිති කියා දෙව්ලොවට ගිය හ. බිසවුන් එදවස් පසවු බොරු ලෙඩක් ගෙන තමන්ගේ පරිවාර ස්ත්‍රීන්ව රජ්ජරුවෝ මා කොයිදැ’යි විචාළෝ නම් මා ලෙඩ නියාව කියව’යි කියා වැදහොත්තාහ. රජ්ජුරුවෝ සිංහාසනාරූඪව සොළොස් දහසක් බිසෝවරුන් පිරිවරා උන්නාහූ අග‍්‍රමෙහෙසිකාවන් වහන්සේ ලෙඩට වැදහොත්සේකැයි කියන්නා ලෙඩකින්දැයි විචාරන්ට රජ්ජුරුවෝ ගෙට ගියාහ. ගෙට ගොසින් බිසවුන්ගේ යහනේ එක් පාර්ශවයෙක ඉඳගෙන බිසවුන්ගේ පිට පිරිමැද බිසවුනි ඇති අපාසු කිම්දැයි විචාළාහ. බිසවු කියන්නාහූ දේවයන් වහන්ස මට වෙන අපාසු නැත අභ්‍යන්තර නම් අඹ කන්ට දොළොක් උපන. මේ අඹ ලදිම් නම් විනා මාගේ ප‍්‍රාණය නැතැයි කීහ. එවිට රජ්ජුරුවෝ අමාත්‍යයන් අතින් විචාරා, ලදිමි නම් ගෙනෙන්නෙම් වේදැයි කියා අමාත්‍යයන් ළඟට ගොසින් අමාත්‍යයන් කැඳවා කියන්නාහූ අභ්‍යන්තර අඹ නම් කිම්ද? තොපි ඇම දනුදැයි විචාළාහ. එවිට අමාත්‍යයෝ කියන්නාහූ ‘අභ්‍යන්තර අඹ නම් අඹගස් දෙකට මධ්‍යයේ සිටිනා අඹගස් වන්නේය. නුඹ වහන්සේගේ උයනට මිනිසුන් යවා ගස් දෙකට මධ්‍යයෙහි සිටියාවූ අඹගස ඵලකඩා ගෙන්වාගත මැනවැ’යි කීහ.

 

රජ්ජුරුවෝ එවිට උයන බලන්ට මිනිසුන් යව්වාහ. මිනිසුන් යනකලට ශක‍්‍රයන්ගේ ආනුභාවයෙන් එකගසකත් අඹ නැත්තාහ. එපවත් රජ්ජුරුවෝ අසා ඇයි මේ කාලයට අඹ නැතිවෙන්ට කාරණා කිම්දැයි උයන්ගොව්වා විචාරා උයන්ගොව්වා විසින් තාපසවරුන් කෑවායයි කියන්නා රජ්ජුරුවෝ තාපසවරුන් එතනින් පහකර වූහ. රජ්ජුරුවෝ අභ්‍යන්තර නම් අඹ නොලැබ අමාත්‍යයන් අතින් පෙරළා අභ්‍යන්තර අඹ කොයිදැයි විචාළේය. එවිට බමුණෝ කියන්නාහු, හිමාලය වනයෙහි පර්වත වළලු සතකින් ඇතුළත සවර්ණ පර්වතයක් සමීපයෙහි ලෝදැල් සතකින් වසා තබනලද වෙසවුණු රජ්ජුරුවන්ගේ අභ්‍යන්තර නම් අඹ ගසක් ඇතැයි අසා දැනුම්හ. දුටුදෑ නැතැයි කීහ. රජ්ජුරුවෝ එවිට මිනිසුන් විසින් එතනට යන්ට නො පිළිවනැ’යි කියා තමන් වඩවන්නාවූ මහත්වූ ශරීරයක් ඇත්තාවූ ගිරාපෝතකයා රන් මැදිරියෙන් මෑත්කොට ළඟ තබා ඉඳ කියන්නාහූ ‘සබඳ තොපට අප විසින් බොහෝ උපකාර කරනලද, ඊටත් උපකාරයට අප කී කටයුත්තක් සාදා දීලූවොත් යහපතැ’යි කීහ.

 

එවිට ගිරවා යහපත, දෙවයන් වහන්ස, කීවක් කරමි කියන්නා රජ්ජුරුවෝ ගිරවාට යහපතැයි කියා මී හා විළඳ කවා මී පැන් පොවා ශතපාක සහශ‍්‍රපාක තෛලයෙන් දෙපියා මැද සබඳ හිමාලය වනයෙහි සත්වන පව්වක වළල්ලෙන් ඇතුළෙහි ස්වර්ණ පර්වතයක් ළඟ අභ්‍යන්තර නම් අඹගසෙක් ඇත්ල ඒ අඹ ගසින් අඹ ගෙනවුත් දී බිසවුන්ගේ දොල සන්සිඳවයි කියා ගිරා පෝතකයානන් දෑතින් අල්වාගෙන සිවුමැදුරු කවුළුව සමීපයෙහි සිට අළහ. ඒ කියන ගිරවාත් රජ්ජුරුවන්ට ආදර දක්වා පියා අඹාගෙන රාජ්ජ සීමා ගෙවාගෙන වනාන්තරයට වැද හිමාලය වනයෙහි පළමුවන පර්වත වළල්ලට ගොසින් එහි වසන්නාවූ ගිරවුන් අතින් අභ්‍යන්තර නම් අඹ ගස දනුදැයි අපි නොදනුම්හ. දෙවන වළල්ලෙහි ගිරවුන් අතින් විචාරන්නේ යහපතැයි කියන්නාවූ ඔවුනුත් විචාරා මෙම නියායෙන් දෙවන වළල්ලය තුන්වන වළල්ලය සතරවන වළල්ලය පස්වන වළල්ලය සවෙනි වළල්ලය යයි කියා සවන වළල්ලට ගොස් එහි උන් ගිරවුන් අතින් විචාළාහ. ගිරව් කියන්නෝ සැබැව, ස්වර්ණ පර්වත සමීපයෙහි අභ්‍යන්තර නම් අඹ ගසෙක් ඇතැයි කීහ. එවිට ගිරවා කියන්නේ ඒ අඹගසෙන් මට ප‍්‍රයෝජනයෙන් ඇත. ඉන් මට අඹගෙඩි කීපයක් ගෙනවිත් දීලවයි කිය. එවිට කියන්නාහු අඹගස නම් වෙසවුණු රජ්ජුරුවන් වහන්සේ ප‍්‍රයෝජන විඳිනා අඹගසය, ලෝදැලින් වසාතිබෙයි, කුම්භාණ්ඩයන්ගෙන් රැකවල් ලද, ඒ අඹ කඩා ගන්නා තබා ඒ අඹ ගස ළඟටත් යන්ට නො පිළිවනැයි කීහ. එවිට ගිරවා කියන්නේ කෙසේවුවත් මම අඹ කඩාගනිමි, මට සලකුණු කියවයි සලකුණු විචාරාගෙන කුම්භාණ්ඩයන් නිදාපු වේලෙහි එකියන අඹ ගස මුල සමීපයෙන් ලෝදැල යටින් ගස සමීපයට ගොස් ගසට වන ඒ වෙලාවට ලෝදැල් කි‍්‍රං යන ශබ්දය පවත්වා ලෝදැල් ඇඬූහ.

 

එවිට කුම්භාණ්ඩයෝ පිබිද ගිරවා අල්වාගෙන මේ ගිරවා ගැලපීයම්හයි කියා ද කඩකොට පලා කාපියම්හයි කියා ද පුලුස්සා කාපියම්හයි කියා ද යනාදීන් ගිරවා භය ගන්වා බස් කීහ. එකියන ගිරවාත් එවිට නිර්භීතව කියන්නේ දෙමව්පියන් කී මෙවරටත් බත්ලත් සාමින් කී මෙවරටත් කොට ප‍්‍රාණය ගියේ නම් දිව්‍යලෝකය ලැබෙන්නේ වේදැයි එසේ හෙයින් තගේ රජ්ජුරුවන් වහන්සේ කී මෙවර නිසා බිසවුන් වහන්සේගේ දොළ සන්සිදුවනු නිසා අඹ ගෙනයන්ට මෙවර මා ආයේය. ඒ නිසා මාගේ ප‍්‍රාණය ගියෙහි වී නමුත් යහපතැයි කියා කීහ. එබස් අසා කුම්භාණ්ඩයෝ සතුටුව යහපත, තොප කීබස් අප සිත්ගත, තොප නොමරා අරුම්හයි කීවාහ. එවිට ගිරවා කියන්නේ මා ආ කාරිය මුදුන් පත් නු වු කල මා ගොසින් කම් කිම්දැයි කියන්නාහූ තොපට මේ ගසින් අඹ ගෙඩියකුත් දෙන්ට බැරි නො වෙයි, රජ්ජුරුවන් වහන්සේගෙන් ඇතිව තිබෙන අඹ ය ඒ නිසා දෙන්ට බැරි ය. දුන්නොත් අපට බොහෝ නිග‍්‍රහ පැමිණෙයි.

 

තොපට උපායක් කියම්හයි අඤ්ජන ගුහාවෙයි වසන ජෝතිය තාපසයන්ට දවස දවස අඹගෙඩි සතරක් දෙති. උන් අතින් අඹගෙඩියෙක් ඉල්වා ගණුව’යි ඒ තාපසවන් කරා යවුහ. ඒ ගිරවාත් තාපසයන්ට එපවත් කියා තාපසයෝත් යහපතැයි කියා දෙකක් තුමූ කා එකක් ගිරවා කවා එක අඹගෙඩියක් ඉල්වා සාල්ලෙක ලා ගිරවා කර බැඳ රජ්ජුරුවන් කරා යවුහ. ඒ ගිරවා අඹගෙඩිය රජ්ජුරුවන් අතට දින, රජ්ජුරුවෝ බිසවුන් කරා යවුහ. ඒ ගිරවා අඹගෙඩිය රජ්ජුරුවන් අතට දින, රජ්ජුරුවෝ බිසවුන්ට දුන්හ. ඒ අඹ කාත් දරුවෝ ඇතිනුවූහයි වදාරා, මේ අභ්‍යන්තර ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි බරණැස් රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසව් නම් යශෝධරා ස්ථවිරය, ගිරාපෝතකයා නම් ආනන්ද ස්ථවිරයෝය. හිමාලය වනයෙහි තාපසයෝ නම් ශාරිපුත‍්‍ර ස්ථවිරය. බරණැස් නුවර උයනේ විසු තාපසයෝ නම් බුදුවූ මම්ම යයි දක්වා වදාළසේක.

 

උපුටා ගැනීම- පන්සියපනස් ජාතක පොත් වහන්සේ

Read 2937 times