Print this page

ආරාමදූසක ජාතකය 44

Written by

තවද එක්සමයෙක්හි ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ කොසොල් රට එක්තරා ගෙමෙක්හි වසනසේක් උද්‍යානයක් දුෂ්‍ය කිරීමක් අරභයා මේ ජාතකය වදාළසේක.

 

සර්වඥයන් වහන්සේ වනාහී කොසොල්රට සැරිසරා වඩනාසේක් එක්තරා ගමකට පැමිණිසේක. ඒ ගමෙහි වසන එක් කෙළඹි පුත්‍රයෙක් සර්වඥයන් වහන්සේට ආරාධනාකොට, තමාගේ උයනෙහි වැඩහිඳිනට සලස්වා, බුදු පාමොක් මහා සංඝයාවහන්සේට දන්දී, “ස්වාමීන් වහන්සේලා කැමති පරිද්දෙන් මේ උයනෙහි හැසිරෙන සේක්ව” යි කීයේය. භික්ෂූන් වහන්සේලා උන් තැනින් නැගී සිට උයන්ගොව්වා ගෙන උයනෙහි හැසිරෙන්නාහූ එක් එළි වූ තැනැක් ඝන වූ ඡායාව ඇත්තේය. මෙතැන්හි වෘක්‍ෂයක් හෝ ගසෙක් හෝ නැත්තේය. කවර කාරණයෙක්දැයි විචාළාහ. ස්වාමීන් වහන්ස මේ උද්‍යානය ගස් රෝපණය කරන කල්හි ගම්දරුවෙක් දිය ඉස්නේ මෙතැන්හි පැළ මුල් උදුරා මුල් පමණින් දිය ඉස්සේය. ඒ රුක්පැළ මලානිකව මළේය. මේ කාරණයෙන් මේ ස්ථානය එළිවූයේ යයි කීය. භික්ෂූන් වහන්සේලා සර්වඥයන් වහන්සේ කරා එළඹ මේ කාරණාව දැන්වූවාහුය. සර්වඥයන් වහන්සේ මහණෙනි, ඒ ගාමාදාරකතෙමේ ආරාමය දූෂ්‍ය කෙළේ දැන් මතු නොවෙයි පූර්වයෙහිත් ආරාමය දූෂ්‍ය කෙළේම යයි වදාරා ඉකුත්වත් කථාව වදාළ සේක.

 

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන කල්හි බරණැස් නුවර නකත් කෙළියට ඝෝෂා කළාහුය.

 

නක්‍ෂත්‍ර බෙරශබ්දය ඇසූතැන්පටන් සියලු නුවර වැස්සෝ නකත්කෙළි ආශ්‍රය කොට හැසිරෙන්නාහුය. එකල්හි රජුහුගේ උයනෙහි බොහෝ වානරයෝ වසන්නාහු ය. උද්‍යානපාලතෙම සිතනුයේ නක්‍ෂත්‍ර ක්‍රීඩාවට බොරලැවූවෝය. මේ වානරයන්ට දිය ඉසුවයි කියා නක්‍ෂත්‍ර ක්‍රීඩා කෙරෙමියි සිතා ජෙෂ්ඨ වානරයා කරා එළඹ “යහළු වානර ජ්‍යෙෂ්ඨය, මේ උද්‍යානය නුඹවහන්සේලාට ද බොහෝ උපකාරය. එහෙයින් නුඹවහන්සේලා මේ උයනෙහි පුෂ්පඵල ඵල්ලවයන් අනුභව කරව’යි නක්‍ෂත්‍ර ක්‍රීඩාවට ඝෝෂණය කෙළේය. “මම නක්‍ෂත්‍ර ක්‍රීඩාකරන්නෙමි. යම් කලකින් මම එම් ද ඒතාක් කල් මේ උයනේ රුක්පාල ගස්වලට දිය වත්කරන්ට හැකිවන්නාහු දැ” යි විචාළේය. “යහපත හැකිවන්නෙමි” කීයේය. “එසේ වී නම් අප්‍රමාදව”යි කියා දිය වත්කරනු පිණිස ඔවුන්ට සම් පයි ද කාෂඨමය කළ ද දී ගියේය. වානරයෝ සම් පයි ද දඬු කළද ගෙන පැළ ගස්හි දිය වත්කරන්නාහුය.

 

ඉක්බිත්තෙන් ඔවුනට වානර රජතෙම කියනුයේ “පින්වත්හු වානරයෙනි, ජලය නම් රක්ෂා කටයුත්තේය. තෙපි පැළ ගස්හි ජලය වත්කරන්නාහු ගස් උපුටා උපුටා මුල් බලා ගැඹුරුවගිය මුල්හි බොහෝ ජලය වත්කරව ගැඹුරුව නොගිය මුල්හි ස්වල්පයක් වත්කරව පසුව අපට ජලය ලැබගත නොහැක්කේයයි කීයේය. ඔහු වානර රජුහුගේ වචනය යහපතැයි පිළිගෙන එලෙස කළාහුය. එසමයෙහි පණ්ඩිත පුරුෂයෙක් රාජ්‍යෝද්‍යානයෙහි එලෙස කරන්නාවූ ඒ වානරයන් දැක මෙසේ කීයේය. “පින්වත් වානරයෙනි කවර කාරණයකින් තෙපි අලුත රෝපණය කරනලද පැළගස් උපුටා උපුටා මුල් පමණින් ජලය වත්කරන්නාහු දැ”යි කීයේය. ඒ වානරයෝ “අපගේ වානර රජතෙම මෙසේ අවවාද දුන්නේය” යි කීවාහුය නුවණැත්තා වූ පුරුෂතෙම ඒ වචනය අසා “පින්වත්නි ඒකාන්තයෙන් පිරීහීමක් වූයේය. අඥානවූ නුවණ නැත්තෝ වැඩක්කරම්හයි කියා අවැඩක් කරන්නාහුය” යි සිතා මෙසේ කීයේය. “අනර්ථයෙහි දක්ෂයා විසින් අර්ථයෙහි හැසීරීම සුව එළන්නේ නොවෙයි. නුවණ නැති තැනැත්තේ වැඩ පිරීහෙලන්නේය. කවරෙක්හු මෙන් ද කීවොත් උද්‍යානයෙහි නියුක්ත වානරයා වැඩකෙරෙමි’යි සිතා අවැඩ කෙළේය” යි කියා මෙසේ ඒ නුවණැති පුරුෂ තෙම වානර රජහට නින්දා කොට තමාගේ පර්ෂද් ගෙන උයනින් නික්මුනේය. සර්වඥයන් වහන්සේ මහණෙනි, මේ ගම ළදරුවා උයන දූෂ්‍ය කෙළේ දැන් මතු නොවෙයි පෙරත් උයන දුෂ්‍ය කෙළෙමි යයි වදාරා මේ ධර්මදේශනාව ගෙන හැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ ආරාම දුසක ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ප්‍රධාන වානරතෙම දැන් ආරාම දුෂ්‍ය කළ ගම්ළදරු වූයේය. පණ්ඩිත පුරුෂව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම් ම වේදැ’යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

උපුටාගැනීම- පන්සියපනස් ජාතක පොත් වහන්සේ

 

Read 2412 times