මොහිදින් බෙග්

Written by

පර්සියාවේ සිට ඉන්දියාවට සංක්‍රමණය වූ පථාන් නමැති ගෝත්‍රයට අයත් බෙග් පරපුර රාජ පාක්ෂික ඉස්ලාමීය පරපුරකි. බෙග් යන්නෙහි පර්සියානු අරුත වන්නේ “රාජකීයයා“ යන්නයි. කරීම් බෙග් ඒ පරපුරට අයත් ඉන්දියානු මුස්ලිම් වරයෙකි. මදුරාසියේ සේලම් නුවර පොලිස් නිලධාරියකු ලෙස සේවය කළ ඔහු බීජාන් බී සමඟ විවාහ වි සිටියේ ය. ඔවුන් පදිංචිව සිටියේ හයිද්‍රාබාදයට නුදුරු පෛතානයේ ය. (පෛයිතානය 1947 දේශසීමා බෙදීමෙන් පසු පකිස්ථානයට අයත් විය.)කරීම් හා බිජාන් යුවළ දරුවන් දහහතර දෙනෙකුගේ මාපියන් වූ අතර ඉන් තිදෙනෙක් ම බිළිඳුවියේ දී ම මිය ගියහ.මේ දැවැන්ත පවුලේ තෙවැන්නා මොහිදින් බෙග් ය.

 

භාරතයේ දී බෙග් උපන්නේ 1918 වර්ෂයේ දෙසැම්බර් 05 වෙනි දා ය. සේලම් නුවර ප්‍රාථමික පාසලක දී දෙමළ, උර්දු හා ඉංග්‍රිසි භාෂාවන් උගත් හේ උර්දු ගී ගායනයට මහත් දක්ෂතාවක් දැක්වීය. ඔහුගේ මේ හැකියාව නිසා එකල පටන් ම සමකාලීනයන් අතර වඩාත් ජනප්‍රිය පුද්ගලයක් විය.

 

හලාල්ඩින් යනු වෘත්තියෙන් පොලිස් නිළධාරියෙකි. හේ සේවය කළේ බ්‍රිතාන්‍යය ලංකාවේ ග්‍රෑන්ඩ්පාස් පොලිස්ථානයේ ය. ඥාතීත්වය අනුව ඔහු මොහිදින් බෙග්ගේ සීයා කෙනෙකි. මොහිදින් බෙග්ගේ සොයුරු අසීස් බෙග් ද මෙරට පොලිසියට බඳවා ගත්තේ හලාල්ඩීන්ගේ අනු දැනුම ද ඇතිව ය. එහෙත් 1931 දී අසීස් බෙග් හදිසියේම ලංකාවේ දී මිය ගියේ ය. මොහිදින් බෙග් මුල් වරට ලංකාවට පැමිණියේ අසීස් බෙග් ගේ මළගමට සහභාගී වීම සඳහා ය. එම ගමන මොහිදීන් බෙග් ගේ ජීවිතයට අතිශය වැදගත් විය . ඊට එක් හේතුවක් වූයේ බෙග් ලංකා පොලිස් සේවයට එක් වී බම්බලපිටියේ පොලිස් නිවාසයක සිටි ඔහුගේ මාමා කෙනෙකු අසල නතර වීමයි.අනෙක් හේතුව නම් එවකට ලංකාවේ ප්‍රසිද්ධ සංගීතඥයකු වූ මොහොමඩ් ගවුස් (ගවුස් මාස්ටර් ) මහතා ඇසුරු කිරීමට ලැබීම යි. මේ අතරින් වඩාත් ප්‍රබල ලෙස වර්ධනය වූයේ ගවුස් මාස්ටර් හා තිබු මිත්‍රත්වය යි. ඒ මිත්‍රත්වයේ ඵලයක් ලෙස කොළඹ නගරාශ්‍රිත ප්‍රභූ නිවාසවල උත්සවවලට ගායකයකු සේ සම්බන්ධ වීමට බෙග් ට අවස්ථාව උදා විය. ඊට ආසන්න කාලයක දී ගවුස් මාස්ටර්ගේ හා යූ .ඩී. පෙරේරා මහතාගේ ඉල්ලීමක් අනුව බෙග් හින්දි තනුවලට සකස් කළ සිංහල ගීත ගායනයට පෙළඹණේ ය.ගවුස් මාස්ටර් ඒ වනවිටත් කොලොම්බියා ගී තැටි සමාගමේ නිත්‍ය ගායකයකු වශයෙන් කටයුතු කළේ ය.එය බෙග්ට ද වාසනාව උදා කළ සබඳතාවක් විය.සිංහල බස හොඳහැටි නොදත් නිසා බෙග් සිංහල ගීත ගායනා කළේ ඒවායේ හඩ උර්දු භාෂාවෙන් ලියා ගැනීමෙන් අනතුරුව ය. ඒ ආකාරයෙන් ඔහු ගැයූ මුල්ම ගීතය වූයේ “තුම් හෝ මුජුකෝ ප්‍රේම සිතායා“ නම් හින්දි ගීතයේ තනුවට අනුව රචනා කළ “කරුණා මූදේ නාමු ගිලීලා -ප්‍රේම මනෝහර ගීත ගයාලා“ නම් ගීතය යි .මේ ගීතය ඇතුළත් වූ ග්‍රැමෆෝන් තැටියේ පිටපත් දස දහසක් පමණ අළෙවි වූ බව සඳහන් වේ. මේ නිසා බෙග්ට ද කොළොම්බියා සමාගමේ නිත්‍ය සාමාජිකත්වය හිමි විය. ඒ වන විට බෙග් ගේ වයස අවුරුදු 18 කි.

 

මේ සිද්ධියත් සමඟ බෙග් ට චිත්‍රපට පසුබිම් ගායනයට ද අවස්ථාව උදා විය. ඊටඅනුව 1945 වර්ෂයේ දී “අශෝකමාලා “ චිත්‍රපටයට පසුබිම් ගායනයෙන් දායක වූයේ ය. එහි ගැයූ ගීත අතරින් “ප්‍රීති...ප්‍රීති...චන්ද්‍රාලෝකේ නිසා ප්‍රියාවී“ යන ගිතය බෙග්ගේ ජීවිතය සපුරාම වාගේ සංගීතය දෙසට යොමු කළේ යැයි කීම ද නිවැරදිය. එතැන් පටන් බෙග් චිත්‍රපට පසුබිම් ගීත ගායනයට ද යොමු වූ අතර 1991 නොවැම්බර් 04 වැනි දා ඇසෙහි සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මයේ දි සිහි නොලබාම මිය යන අවස්ථාව වන විට ඔහු ගායනා කර තිබූ ගීත සංඛ්‍යාව පන් දහසක් තරම් වේ . මේ ගීතවල විශේෂත්වය වන්නේ ඒ අතරින් බහුතරය බෞද්ධ ගීත විමයි.උපතින් ඉස්ලාම් භක්තිකයකු වූ බෙග් කිසිදු කොන්දේසියකින් තොරව ඉතා භක්තියෙන් යුතුව බොදු ගී ගයද්දී ලෝකයම ඔහු දෙස බලා සිටියේ කලාවේ අරුතත් අරමුණත් මනාව වටහා ගත් මහා කලාකරුවකු දෙස බලන අයුරිනි.

 

2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඔහු ගායනා කළ “දෙදහස් පන්සිය බුද්ධ ජයන්තිය බැබළේවා ලංකා“ ගීතය ඔහුගේ දිවියට තවත් වටිනාකමක් එක් කළේ ය.මේ වන විට ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා බෙග්ට ලංකා පුරවැසි බව ලබා දුන්නේ එතුවක් කල් පුරවැසි බව ලබා නොදීම ලංකා රජයෙන් ඔහුට සිදු වූ බලවත් අසාධාරණයක් බව ද පිළිගනිමිනි.  එතැන් පටන් ශ්‍රි ලාංකිකයකු වශයෙන් කටයුතු කරමින් මෙරට සංගීත කලාවට මහත් මෙහෙවරක් කළ බෙග් මහතා 1987 වර්ෂයේ දී පකිස්ථානු ජනාධිපති සියා උල් හක් ගේ අනුග්‍රහයෙන් මක්කම පුදබිමට ද ගියේ ය.සියා උල් හක් මහතා බෙග්ට මක්කම ගමන සඳහා අනුග්‍රහ ලබා දුන්නේ ඔහු ලංකාවට ආ අවස්ථාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඇරයුමෙන් ගායනා කළ උර්දු ගීතය නිසාවෙනි. හැඩි දැඩි යුධ නිලධාරියකු වූ සියාඋල් හක් ,බෙග් ගේ ගීතය අසා මහත් සංවේදි භාවයට පත් වූ බවත් පාකිස්ථානයේ නිත්‍ය වාසයට පැමිණෙන්නැයි බෙග් ට ඇරයුම් කළ බවත් සඳහන් වේ. එහෙත් ඔහු ඊට අකමැති වූ නිසා පාකිස්ථාන සංචාරයකට පැමින කෙටි කලක් එහි නතර වී සිටින ලෙසත් මක්කම වන්දනාවට එක්වෙන ලෙසත් ඇරයුම් කළ බව කියැවේ. මොහිදීන් බෙග් අල්හාජ් නාමය ලැබුනේ ඔහුගේ මේ මක්කම ගමනට පසුවය.

 

මොහිදීන් බෙග් මහතා ගැයූ ගී සමහරක්

 

1 කරුණා මූදේ නාමු ගිලිලා -ප්‍රේම මනෝහර ගීත කියාලා

2 ප්‍රීති... ප්‍රීති... චන්ද්‍රාලෝකේ නිසා ප්‍රියා වී....

3 නාරිලතා පුෂ්පේ ස්ත්‍රී...

4 ප්‍රේම ගඟේ මැණික් වගේ

5 ප්‍රේමා ලෝකය නිවී ගියා

6 පායලා සූර්යය දෙවි රාජයා ආකාසේ..

7 සුදු සඳරැස් ගලන ගංගාවේ පිහිනා

8 ආදර නදිය ගලා..

9 ආදරියේ රුචිරානනියේ..

10ඇයි බඹරෝ පෙම් මල අතහැරලා..

11ආලෝකය කෝ දිළින්දාට

12 අමතක කරලමු පැරණි කතා

13 අන්න සුදෝ අර පාට වලා

14 බ්‍රින්දා වනයේ

15 බුද්ධං සරණං ගච්ඡාමි

16 බුදුන්ගේ අමා ධර්මේ

17 බුදුන්ගේ උතුම් ධර්මේ

18 චණ්ඩ මාරුත්හි

19 දලු ලා ප්‍රේම ගසේ

20 ධනපතියා කලපතියා

21 දැන් පැද්දෙයි පෙරළෙයි

22 දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි

23 දිස්නෙ දෙන සඳ

24 පාපේ ගැලීලා

25 දුක තේරේ සංසාරේ

26 දුකේ හෝ සැපේ

27 දුප්පතාට කෝ සැප ලෝකේ

28 දුටු දා ඉඳලා

29 එපා මට මගේ ප්‍රියාවී

30 ගලා යන්න නිල් දිය වැල්

31 ගම පිබිදෙන කාලේ

32 ගමේ ගොඩේ සිදාදියේ

33 ගිරිහෙල් මුදුනේ

34 අමා මිහිරේ

35 හිම බිම පාලන සුරිඳේ

36 හොඳ කල ආ දා

37 ඉවසීම සතුට ගෙන දෙන

38 ජාති සංසාරේ

39ජෝඩු ජෝඩු වී

40 කාසි බාගේ වස්තු වතුපිටි

41 කව්ද මේ ලෝකේ

42 මායා

43 කොහේදෝ යන්නේ මගේ සිතේ

44කොයි කාගේ පිහිටක්

45 කෝටු කෑලි සොයාලා

46 ලක්ෂ්මී සිනා සී නිල් ජලේ

47 ලෝ ජීවිත විකාරේ

48 මා ඈත භාවේ දී මතකද හමු වූවා

49 මගේ දුකින් මා බේරා

50 මගේය ප්‍රේම මාලිනී

51 මල්ලෝකේ මහා භෘංග රාජයා

52 මංගලම් ජය මංගලම්

53 මැණිකක් රකිනා

54 මනු සතා ලෝකෙ ඉපදී

55 මේ ලෝක තලේ සුරකින

56 මේ ලොව ධර්මේ

57 මිනිසාමයි ලොව දෙවියන් වන්නේ

58 මොකට ද කාසි බාගෙ සොයා තියා

59 නිල් මැණික මගේ

60නින්දා ප්‍රශංසාව

61ඔබ එනව බලා

62පහන පත්තු නොකෙරුවාට

63 පෙම් මල් මාලා

64පෙම් පහන නිවී

65පෙම් සිහින ලෝකේ

66පෙර ආත්ම ගණනක්

67පෙර හිඳින

68 පියලී කැඩීල වැටුණා

69ප්‍රේම ගඟේ

70පුංචි පුතේ පුංචි දුවේ

71සාගර හිමිය සොයා

72සකල සතම බොදු බැතියෙන්

73 සක්විති රජවරු ලෝකේ

74 සම්මා සම්බුදු වූ පූජිත

75 සැපවත් පවුලක පරමාර්තේ

76 සිනහවෙන් හෝ කතාවෙන් බෑ

77 සිරිපාද හිමේ

78 සුදට සුදේ

79 සුදු සඳ රැස් ගලන

80 සුරතලියේ

81 සුවදේ මට සීතල සුළඟ පවා

82 තනිවයි උපන්නේ

83තනියම එන අපි

84තරු පායන ආකාසේ

85 ටිකිරි මැණිකෙ 

 

මොහිදින් බෙග් මහතා විවාහ වූයේ සකීනා බී නම් යුවතිය සමගිනි.ඒ 1947 වර්ෂයේ දීය. මේ යුවලට උස්මාන්,හයිඩර්,මුබාරක්,ඉෂාක් හාඉලියාස් නමින් පුතුන් පස් දෙනෙක් ද රාබියා සලීමා හා මොයිනා නමින් දූවරු තිදෙනෙක් ද විය.

 

 

තොරතුරු-අමිල කෝසල උඩවත්ත- නාගොඩ මහා විද්‍යාලය-කළුතර

Read 6764 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka