පිළිකුත්තුව

පිළිකුත්තුව

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල හන්දියෙන් හැරී කිරිඳිවැල පාරේ සැතපුම් දෙකක් ගිය විට පිළිකුත්තුව විහාරය පිහිටා ඇත. ප්‍රදේශය පුරා පැතිරි ඇති ගල්ලෙන් සහිත පර්වත මෙන්ම දුර්ලභ වෘක්ෂයන්ගෙන් පිරී වන ලැහැබ මෙම විහාර භූමියට විචිත්‍රත්වයක් එක් කරයි. පිළිකුත්තුව විහාර භූමිය තුළ ගල්ලෙන් තිහක් පමණ ද ඊට ආසන්නව පිහිටි පෞද්ගලික ඉඩම්වල තවත් ගල්ලෙන් ගණනාවක් ද පිහිටා ඇත. පුරාණ අවධියේ වැදගත් ආගමික ස්ථානයක් බවට සනාථ කරන සාධකයක් ලෙස භික්ෂුන්ගේ වාසය සදහා වූ කටාරම් කොටා සකස් කර ඇති ගල්ලෙන් සාක්ෂි දරයි. එක් ලෙනක ආදී බ්‍රාහ්මීය අක්ෂර වලින් ‘මනොරම‘ යනුවෙන් කොටන ලද කෙටි ලිපියකි. එවැනි ම තවත් ලිපියක ‘දකිණලෙන‘ යනුවෙන් සඳහන් වෙයි.

‘අණිකටශ බතුනො අගබුතිනො දනෙ අගත අනගත චතුදිශ ශගශ‘

ලෙස සඳහන් වන තරමක දිග ලිපියක් ද විහාරයට නුදුරින් වන ඉඩමක පිහිටි ලෙනක වෙයි. ‘ අශ්වාරෝහකගේ සහෝදරයා වූ අග්ගිභූතිගේ දානය, සතර දිගින් එන වත්මන් හා අනාගත මහා සංඝයා සඳහාය ‘ යන්න එහි අදහසයි. දිගින් හා පළලින් අඩි තිහක් වන ලෙසින් චතුරස්‍රාකාර සැලැස්මකට අනුව විහාර භූමියේ ඇති එක් ගල් ලෙනක පිළිම ගෙයක් ද ඉදිකරවා ඇත. එහි ඇතුන් සහිත පෙරහැරක් ද, දොරටුව දෙපස දොරටුපාල රූප දෙකක් ද පිටමාලයේ බිත්තියේ සිතුවම් කර ඇත. මෙහි දොරටු පාලකයින් පෘතුගිසී භටයන් ලෙස සැරසී සිටිම අවධානයට ලක්වන දසුනකි. මීට අමතරව වෙස්සන්තර ධර්මපාල, මහා කන්න, යනාදී ජාතක කතාවල සිද්ධීන් ද, අපායෙහි විස්තර ද සිතුවම් කර ඇති අතර ඇතුල්මාලේ බිත්තිවල ද රහත් පෙළ,ඉර හඳ,ආදී සිතුවම් වෙයි. පිහිටි ගලෙන් සෑදුණු වියන දහසක් පද්ම රූපවලින් අලංකෘතය. අඩි 20ක් පමණ දික්වූ සැතපෙන බුදු පිළිමයක් ද, අඩි 9ක් උස් වූ හිටි බුදු පිළිමයක් ද, අඩි 6ක් උස් වූ හිඳි බුදු පිලිමයක් ද, අඩි 6ක් උස් වූ විශ්ණු දෙවි පිළිමයක් ද මෙම පිළිමගෙයි දක්නට ලැබේ. මෙම චිත්‍ර සහ ප්‍රතිමා කර්මාන්ත මහනුවර සම්ප්‍රදායට අනුව කරවන ලද ඒවාය. ගල් පුවරු අල්ලා කරන ලද පොකුණක් ද, කුඩා ප්‍රමාණයේ වැවක් ද, විහාර භුමිය තුළ දිස්වෙයි.