මීගමුව

මීගමුව

ඵෙතිහාසික වටිනාකමින් යුත් ප්‍රධාන නගරයක් වන මීගමුව ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. එය කාවන්තිස්ස රජතුමාගේ කාලය තරම් ඈත අතීතයක පුරාවෘත්තයකට හිමිකම් කියයි. විහාර මහා දේවියට, ‘ සැට රියන් මී වදයක් ගෙන මහා සංඝයාට දන් දී ඉතිරි වුණ කණ්ඩත්..... ‘ උපන් දොළක් පිළිබඳ මෙම පුරාවෘත්තයේ සඳහන් වේ. දස මහා යෝධයන්ගෙන් එක් අයෙක් වූ වේළුසුමනයන්ට මෙවැනි මීයක් සෙවීමට භාර වුණි. රුහුණු රටේ සිට මායා රට දක්වාම මේ හා සමාන විශාල මීයක් සොයමින් සැරිසැරූ ඔහුට වෙරළේ මසුන් මරනන්න් ගොඩ ඇද දමා තිබූ ඔරුවක සැට රියනක් දිගැති මීයක් දක්නට ලැබිණ. එම මී වදය ගෙන ගොස් රජ බිසවට පිදීමට ඔහුට හැකි විය. එතැන් පටන් එම ස්ථානය ‘මීගොමුව‘ නමින් හඳුන්වා පසු කළක මීගමුව ලෙස භාවිතයට හුරු විය.

නැව් තොටක් ලෙස ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වූ මීගමුව නිතර දෙවේලේ ජනාකීර්ණ වූයේ වෙළඳාම පිණිස පැමිණි අරාබි ජාතිකයන්ගේ මුහුදු යාත්‍රා නිසාය.මෙරට පෘතුගීසි හා ලන්දේසි සබඳකම් පැවති කාලය පුරාවට මීගමු නැව් තොට ඉතා වැදගත් විය. මේ කාල වකවානුවේ දී කුරුඳු වගාව විශාල වශයෙන් මෙහි සිදු කෙරිණ. පෘතුගීසින් 1600 දී මුලින්ම බලකොටුවක් ඉදිකළ අතර පසුව ලන්දේසීන් 1644 දී එම බලකොටුව අත්පත් කරගත්තේ ය. ලන්දේසීන් මීගමුවෙන් රැස් කරගත් කුරුඳු ලොව පුරා ජනප්‍රිය කළ අතර බලකොටුව ද වැඩි දියුණු කළෝ ය. එතෙකින් නොනැවතුණ ඔවුන් මීගමුවේ සිට කොළඹ - පුත්තලම දක්වා දික් වූ ඇළ මාර්ග පද්ධතියක් ඇති කළේ මෙම ව්‍යාපාරය ක්‍රමවත් කර ගැනීම සඳහා ය.

ඉංග්‍රීසීහූ මීගමු බලකොටුවේ විශාල සිරගෙයක් ගොඩනැගුවේ එහි තිබු ලන්දේසි ගොඩනැගිලි බොහොමයක් කඩා බිඳ දැමීමෙනි. ලන්දේසි කාලයේ තැනූ ගොඩනැගිලිවලින් දැනට ඉතිරිව ඇති ගොඩනැගිල්ලකට නිදසුනක් ලෙස කළපුවට මුහුණලා පිහිටි පැරණි තානායම දැක්විය හැකිය. ලන්දේසීන්ගේ සොහොන්බිම පිහිටා තිබෙන්නේ පැරණි කොටු බැම්මේ දොරටුවට වම් පසිනි. ලංකාවේ දී මිහිදන් කරන ලද ඉංග්‍රීසි ජාතිකයෙක් වූ හෙතරින්ටන් නමැත්තාගේ සොහොන එහි ඇති වඩාත් වැදගත් අංගයකි. ‘පුංචි රෝමය ‘ ලෙස මීගමුව හැඳින්වීමට හේතුව වන්නේ, මෙහි වැඩි වශයෙන් රෝමනු කතෝලික ජනතාව සිටිමත් එම ආගමට අයත් දේවස්ථාන රාශියක් දක්නට ලැබීමත්ය.