මාලිගාතැන්න

මාලිගාතැන්න

කොළඹ - නුවර මහා මාර්ගයේ මිරිස්වත්ත මාර්ගයෙන් දකුණට හැරී වතුරුගම සැතපුම් තුනක් පමණ ද, එතැන් සිට වමට ඇති මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ද ගිය විට මාලිගාතැන්නේ නම් වූ විවේකී සේනාසනය දැකගත හැක. ඉතා රමණීය ස්ථානයක් වන මෙම පුරාණ විහාරය මුහුදු මට්ටමේ සිට අඩි 800ක් පමණ උස් වූ පර්වතයක් මත ගල්ලෙන් ද සහිතව පිහිටා තිබේ. ප්‍රාකාරයකින් වට කරන ලද විශාල බෝධි වෘක්ෂයක් පර්වතය මුදුනෙහි දක්නට ඇති අතර ඒ අසල පූරාණයේ දී ගොඩනැගිල්ලක් තිබෙන්නට ඇතැයි නිගමනය කළ හැකි, කණු සිටුවීම සදහා හාරන ලද සිදුරු දක්නට පුළුවන.

වර්තමානයේ ද භීක්ෂූන් වහන්සේලාගේ වාසය සඳහා යොදා ගැනෙන ගල්ලෙන් කිහිපයක් ඇති අතර ඉන් එක් ගල්ලෙනක කැටයම් කරන ලද ගල් උළුවස්සකි ද වෙයි. මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ අදහස වනුයේ මෙය 8 වන සියවසට පමණ අයත් වන්නක් බවයි. සිදුරු විසිපහකින් යුත් නිදන් ගලක් ද මෙම ස්ථානයේ පිහිටා තිබීම මාළිගාතැන්නට ඉහළ වටිනාකමත් එක් කරයි. බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් ලිපි මෙයට නුදුරින් පිහිටි වාරණ, පිළිකුත්තුව ආදී ස්ථාන වලින් හමු වී ඇති බැවින් මෙම ස්ථානයෙත් එකල සිටම බෞද්ධ භික්ෂූන් වහන්සේලා වාසය කළ බව නිගමනය කළ හැක. කෝට්ටේ යුගයේ සතුරු උපද්‍රව වලදී රජුන්හට හා ඇමතිවරුන්ට ආරක්ෂාව හා රැකවරණය ලබා දී ඇති අතර වළගම්බා රජුත් මෙම ස්ථානයේ සැඟවී සිටි බව ජනප්‍රවාදයේ ඇත. කෝට්ටේ යුගයේ දී දන්ත ධාතූන් වහන්සේගේ ආරාක්ෂාව පතා මෙම ස්ථානයට වැඩමවා ගෙනවිත් කලක් තැන්පත් කර තිබීමෙන් පසු දෙල්ගමුවට වැඩම කල බව ජනප්‍රවාදයේ සඳහන් තවත් කරුණකි.