ලුණුගම

ලුණුගම

දෙල්ගොඩ කිරිඳිවැල මාර්ගයේ පැදපොල්ගහදෙණිය මංසන්දියෙන් දකුණු දෙසට ඇති මාර්ගයේ සැතපුම් එකහමාරක් පමණ ගිය විට පුරාණ සිරිපැරකුම්බා රජ මහා විහාරය හමුවේ. මෙම විහාරස්ථානයේ පෞරාණිකත්වය පිළිබිඹු කරන සාධක වනුයේ කටාරම් කොටා සකස් කරන ලද ලෙන් විහාරය, විශාල බෝධි වෘක්ෂය හා ධර්ම ශාලාවය. සද්ධර්මාරත්නාකරයේ 12 වන පරිච්ඡේදයේ කෝට්ටේ සවැනි පරක්‍රමබාහු රජතුමාගේ ශාසනික සේවාව පිළිබඳව කෙරෙන විස්තරයෙහි මෙය සඳහන් විය. “තව ද ලුණුගම ප්‍රාග්භාරාන්තරයෙහි දිග දසරියන් පුළුල සරියන් පිලිමගෙයක් කරවා බෝමැඩ වජ්‍රාසනාරූඪව දිව සෙනග පිරිවරා බුදුවන්නට වැඩ උන්නාක් මෙන් වඩු දෙරියන් උස වැඩහුන් පිළිමයක් කරවා එසේම සිටි පිළිම දෙදෙනකුන් වහන්සේ හා නාථ මෛත්‍රි රූප පිහිටුවා විහාරයට තත්‍රැප්පාදාදිය පුදමින්...“

පැත්තක දිග අඩි 30 ක් පමණ වූ චතුරස්‍රාකාර නිර්මාණයක් වන අතර ඉදිරි පැත්තෙහි පිටතට විහිදෙන ආලින්දයකින් සමන්විත ලෙන තුළ පිහිටි බුදුගෙය අවුරුදු 500ක් පමණ පරණ යැයි සැලකේ. මෙය කොටස් දෙකකින් යුක්තය. මෙහි මුල් කොටසේ අඩි 12ක් දිග සැතපෙන පිළිමයක් ද, සිරිපැරකුම්බා රජු විසින් පූජා කරන ලද පිළිමයක් ද, අඩි අටක් පමණ වූ හිටි පිළිමයක් හා නාථ මෛත්‍රී බෝසත් රූපයක් ද වේ. බිත්තවල හා සිවිලිමෙහි සිතුවම් කර ඇතිමුත් පසු කාලයේ දී ඒවා අලුත්වැඩියා කිරීමෙන් පෞරාණිකත්වය ගිලිහී ගොස් ඇත. විහාර ගෙයි දෙවැනි කොටස මෙයට පිටුපසින් පිහිටා ඇති අතර මුල් කොටසට සමාන දිගකින් යුක්ත වුවත් අඩි අටකට වඩා පළලක් නැත. ලෙන් තුළ සත් සතිය දැක්වෙන පිළිම නිර්මාණය කර ඇත. විහාරස්ථානයේ ඇති ධර්මශාලාව පැත්තක දිග අඩි 40ක් පමණ වූ චතුරස්‍රාකාර පැරණි ගොඩනැගිල්ලක් වන අතර එය අවුරුදු 100ක් පමණ පැරණි එකකි.