කැළණිය

කැළණිය

ඉතා ඈත අතීතයේ සිටම එනම් රාවණා රජුගේ කාලයේ සිටම කැලණීය ලක්දිව ත්‍රිමණ්ඩලයයන් එක් මණ්ඩලයක ප්‍රධාන නගරය ලෙස සලකා ඇති බව රාමායන මහා කාව්‍යයේ සඳහන් වේ. කැලණියෙහි ඉපැරණි වටිනාකමක් සහිත ස්ථාන අතුරින් ප්‍රමුඛස්ථානයක් ගන්නේ කැලණි රජ මහා විහාරයයි. මහාවංශයේ සඳහන් වන පරිදි කැලණියේ මුලින්ම බෞද්ධ විහාරස්ථානයක් ඉදි කරන ලද්දේ මණිඅක්ඛිත නා රජු විසිනි. බුද්ධත්වයෙන් පසු අටවන වසරෙහි මණිඅක්ඛිත නා රජුගේ ඇරයුම පරිදි වෙසක් මස පුර පසළොස්වක දින මහරහතුන් පන්සියයක් සමඟ වැඩම කල බුදුරජාණන් වහන්සේ, මේ වන විට විහාර භූමියේ දා ගැබ පිහිටා ඇති ස්ථානයේදී මැණික් මණ්ඩපයක හිඳ දහම් දෙසූහ.

මෙහි චෛත්‍යය දක්ෂිණ දේශය පාලනය කල උත්තිය කුමරු නැවත ප්‍රතිසංස්කරණය කර සංඝයා වහන්සේ සඳහා සුදුසු වාසස්ථානයක් ලෙස ඉදි කරවන ලදී. මහානාග රජුගේ පුත් ජටාලතිස්ස රජු එහි සත්මහල් ප්‍රාසාදයක් කරවීය. උත්තියගේ මුණුබුරු වූ කැළණිතිස්ස රජුගේ කාලයේ වූ ප්‍රසිද්ධ සිදුවීමක් වන තෙරනමක් උණු තෙල් කටාරමක බහා රත් කර නැසීම නිසා මුහුද ගොඩ ගලා රට විනාශ වීමත් එයට පිළියමක් ලෙස රජුගේ දියණිය සමුද්‍රයට බිලි දීමත්, තමන් නැග සිටි ඇතුත් සමඟම රජුව පොලව තුලට ගිලා බැසීමත් සිදුවිය.

දුටු ගැමුණු රජුගේ කාලයේ මෙම විහාරයෙහි භික්ෂූන් වහන්සේ පන්සිය නමක් සිටි බව ද සඳහන් ය. කැළණියේ උපෝසථාගාරයක් ඉදි කරන ලද්දේ කණ්ට්ඨතිස්ස රජු විසිනි. අභ්‍යන්තර යුද්ධ පැවති සමයේ (පළමු විජයබාහු රජ සමයේ) වික්‍රමහාබු කුමාරයා විසින් මානාභ්‍රණ කුමාරයා සහ ඔහුගේ සොයහොයුරන් පස්දුන් කෝරළයෙන් නෙරපා හරින ලද්දේ කැළණියටයි.නිශ්ශංකමල්ල රජු වන්දනා කළ පූජාස්ථානයක් ද වේ. පළමු පරාක්‍රමබාහු රජුගේ කාල සමයෙහි යුධ හමුදා කඳවුරක්ද පැවතිණි.

කාලිංග දේශයෙන් පැමිණි මාඝ නමැත්තාගේ ආක්‍රමණයත් සමඟ බෞද්ධ වෙහෙර විහාර පරිහානියට පත් වීමට පටන් ගැණිනි. එය මහා වංශයේ සඳහන් කොට ඇත්තේ මෙසේය. “ පිළිම ගෙවල් කැඩූහ. බොහෝ චෛතයයන් වැනසූහ. විහාරයන්හි විසූ උපාසකයන්ට පහර දී පෙළූහ. දරුවන් තැළූහ. දැමියන් යපළූහ. ජනයා ලබා බර ඉසිනවූහ. බොහෝ කාර්යයන් කරවූහ. ශ්‍රද්ධා ඇත්තා වූ පූර්ව නරේද්‍රයන්ගේ කීර්ති ශරීරය සමානව රත්නාවලී ආදී වූ උස් මහත් වූ චෛතයයන් හෙලමින් වනසමින් ඒ චෛත්‍යයන්ගේ ජීවිත සමාන වූ බොහෝ ශාරීරික ධාතූන් අතුරුදහන් කළහ.

මෙම මාඝ ආක්‍රමණයන් රට බේරා ගනු ලැබූයේ තුන්වන විජයබාහු රජුය. එතුමා සියල්ල ප්‍රතිසංස්කරණය කරමින් කැළණි වෙහෙර යළි පිළිසකර කර රන් කොතක් පළඳවා පසු කාලයක වාහල්කඩද ඉදි කරවීය. එම භූමියේ වූ පිළිම ගෙවල්, පවුරු බැමි ආදියද ප්‍රතිසංස්කරණය කරවීය. එම රජුගේ පුතු වූ දඹදෙණි පරාක්‍රමබාහු රජු ද මෙහි දියුණුව උදෙසා විශාල කාර්යයක් කළේය. යටාලතිස්ස රජු විසින් කරවූ පස්මහල් ප්‍රාසාදය හුණු පිරියම් කර අලුත්වැඩියා කර ප්‍රතිසංස්කරණය කරවීය. ඔත්පිළිම ගෙය හා තිවංක පිළිමගෙය ද නැවත සකස් කරන ලදී. ගල් අතුරන ලද මහසෑ මළුවේ ඉදිරියෙන් මණ්ඩපයක් කරවන ලදී.

කැළණි විහාරයට අනුග්‍රහ දැක්වූ රජවරුන් අතර කුරුණෑගල 4 වැනි පරාක්‍රමබාහු රජු, කෝටටේ 6 වැනි පරාක්‍රමබාහු රජු හා කෝට්ටේ 6 වැනි බුවනෙකබාහු රජු දැක්විය හැක. කෝට්ටේ යුගයේ දී, මහා විහාරික භික්ෂු පරපුරේ ථේරවාද භික්ෂු නිකාය පිළිබඳ වූ කේන්ද්‍රස්ථානය ලෙස ද කැළණිය සලකන ලදී. 1475 දී මෙම විහාරස්ථානයේ දී, බුරුමයේ හංසවතී නුවර රාමාධිපති නම් රජු කළ ඉල්ලීමකට අනුව භික්ෂූණ් වහන්සේ ලා හතළිස් නමකට උපසම්පදාව ලබා දෙන ලදී. පෘතුගීසි හා ලන්දේසි පාලන කාලවලදී කැළණි විහාරයට බොහෝ හානි සිදු වූ අතර 1780 දී මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින්, වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ අනුශාසනා අනුව මෙම රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කරවන ලදී.

කැළණිය විහාරය අවුරුදු 2000කට වඩා දීර්ඝ කාලයක සිට වරින් වර ප්‍රතිසංස්කරණය කරමින්, සංවර්ධනය කරමින් පැමිණ ඇත. එබැවින් එහි මුල්ම ස්වරූපය අද දැක ගැනීමට නොහැකි නමුත් අනුරාධපුර යුගය කරා දිවෙන තරම්ම ඈත අතීතයක් සහිත ගල් කැටයම් පුවරු, කැසිකිළි ගල්,කොරවක් ගල් හා ගල් කණු ආදිය මෙහි දක්නට ලැබේ.

මෙහි පිළිමගෙය අටළොස්වන සියවසට අයත් යැයි සැලකේ. එහි පිට විහාරය, ඇතුල් විහාරය ලෙස දීර්ඝ චතුරස්‍ර හැඩැති ශාලා දෙකකි. එහි ඇතුල් විහාර ශාලාවේ බිත්ති ප්‍රතිමාවලින් අලංකාර කර ඇත. එහි මැද දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් වේ. එහි සිරස ආසන්නයේ පැරණි සෙල් පිලිමයක් හා ඒ ආසන්නයේ ම සමාධි පිළිමයක් ද වේ. සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ දෙපා ආසන්නයේ නාථ, විෂ්ණු, ස්කන්ධ යන දේවතාවනගේ රූප පිහිටා ඇත. මෙහි ඇති සමහරක් චිත්‍ර මහනුවර යුගයට අයත් යැයි සැලකේ. ඒවායින් මහාකන්හ, වෙස්සන්තර, යත්යපත්ත, දහම්සොඬ, සච්චකිර, මහාසීලව, ධර්මපාල ආදී ජාතක කතා නිරූපිතය. නවග්‍රහයින් සහිත නැකැත් රාශීන්, සත් සතිය, සොළොස් මහා ස්ථාන හා මාර යුද්ධය ආදි සිතුවම් උඩු වියනේ ඇඳ ඇත. කැළණි වෙහෙරේ ඇති නූතන යුගයට අයත් චිත්‍ර නිර්මාණය කරන ලද්දේ සෝලියස් මැන්දිස් නම් චිත්‍ර ශිල්පියා විසිනි. ඔහුගේ චිත්‍රවලින්, බුදුරදුන් මහියංගනයට වැඩීම, නාගදීපයට වැඩම කිරීම, කැළණියට වැඩම කිරීම හා සමන පර්වතයෙහි ශ්‍රී පාදය පිහිටුවීම ආදිය ද සිංහල ජාතියේ උපත, ලංකාද්වීපයට බුද්ධාගම ගෙන ඒම, සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් සිරිමහබෝ අංකුරයක් ලංකාවට වැඩම කරවීම, දන්ත කුමරු හා හේමමලා කුමරිය දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීම, බුද්ධඝෝෂ හිමියන්ගේ මූලිකත්වයෙන් විශුද්ධි මාර්ග පිටපත් තුන මහා විහාරයේ සංඝරාජ හිමියන්ට පිළිගැන්වීම, වැලිවිට සරණංකර මා හිමියන්ට සංඝරාජ පදවිය පිරිනැමීම, ආදී ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් යසෝලියස් මැන්දිස් මහතා විසින් සිතුවම් කර ඇත.