අත්තනගල්ල

අත්තනගල්ල

අත්තනගලු ඔයේ දකුණු ඉවුරේ උස් වූ භූමියක අත්තනගලු විහාරය පිහිටා ඇත. එය ඉදි කරවන ලද්දේ ගෝඨාභය රජතුමාය. මෙම ප්‍රදේශයට මේ වන විට හුණුපොළ යැයි ව්‍යවහාර කෙරේ. මෙයට අත්තනගල්ල යැයි ව්‍යවහාර කිරීමට, ශිලා ස්ථම්භයක් තිබීමත්, පෙර රජුන්,තපස්වරුන් ආදීන්ට සමන්ජාතව පහලවීමත්, ගල් පොකුණුවල මා වී කුඩු නැතිව පැසුණු නිසාත්, පුරාතනයේ නුවර මැද නානාවිධ වස්ත්‍රාභරණාදී කප්රුක් හා සත්රුවන් විසිතුරු වූ රුක් පිහිටි ගලක් පහලවීමත් හේතුවී ඇත. අත්තනගල්ල විහාරස්ථානය ගෘහනිර්මාණ අතින් මෙන්ම අද්භූත පුරාවෘත්තයන් අතින් ද වැදගත් වූ ස්ථානයක් යැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප්‍රකාශ කර ඇත. අතීතයේ මෙහි ඝන වනාන්තරයේ අලි ඇතුන් සමූහ වශයෙන් සිටි අතර අලි ඇතුන් ගැවසෙන වනපෙත් සමූහය යන “හස්තිවනගුල්ල“ අත්තනගල්ල ලෙස බිඳී ආ බව කියැවේ.

සිරිසඟ බෝ රජතුමා අනුරාධපුර රාජධානියේ රජකම් කරන සමයේ ගෝඨාභය නම් වූ භාණ්ඩාගාර භාරකරු රාජ්‍යයට ලෝභ වී රජුට ද්‍රෝහි විය. මොහු “රජු නුවරින් ලවා හැර රාජ්‍යය තමා සතු කරගනිමි.”යි සිතා සේනාව සංවිධානය කරගෙන ආවේය. මෙය ඇසු සිරිසඟ බෝ රජු “මෙම රාජ්‍යයෙන් කුමන ඵලක්ද? රාජ්‍යයට කැමති අය හටම ලබා දෙන්නෙමි” යි සිතා රාජධානියෙන් නික්මී මායා රටට පැමිණ අත්තනගලු වනයට වී වාසය කලේය. සිරිසඟ බෝ රජුගේ හිස රැගෙන එන අයෙකුට කහවන් දහසක් ලබාදෙන බවට, රජකම් ලැබූ ගෝඨාභය විසින් අණබෙර යවා ඇති බව දුගී මගියෙකුගෙන් දැනගත් සිරිසඟබෝ රජතුමා තම හිස එම මගියාට දන් දුන්නේය.

රජුයේ බිසව රජු සොයමින් ගම් නියම් ගම් පසු කරමින් පැමිණ රජුගේ හිස නොමැති සිරුර දැක සිහිසුන්ව ඇද වැටී එම සිරුර වැළද මිය ගියාය. තමන් නිසා වූ මෙම අපරාධයෙන් කම්පාවට පත් වූ ගෝඨාභය රජු , සිරිසඟබෝ රජුගේ සහ බිසවගේ සිරුර ආදාහනය කළ ස්ථානයේ වටදාගෙයක් ඉදිකළ බව අත්තනගලු වංශයෙහි සඳහන්වේ. ඉන් පසු උපතිස්ස නම් රජ කෙනෙකු විසින් එහි පස්මහල් පායක් කරවන ලදි. පසු කළක එම පාය සොරුන් විසින් විනාශ කරන ලද විට මුගලන් නම් රජකෙනෙකුන් එය තුන්මහල් කොට ප්‍රකෘතියට පත් කල අතර වටදාගෙය හා අනෙකුත් සංඝාරාම ද පිළිසකර කරවී ය.

අත්තනගල්ල විහාරයේ සොළී පාඬි ආසී පරසතුරන් විසින් විනාශ කරන ලද දාගැබ් සහ අනෙකුත් තුන්මහල් පාය විහාර ගෙය යනාදිය සිව්වන විජයබාහූ රජු විසින් පිළිසකර කරවීය. ඔහුගේ පුත් දෙවන පරාක්‍රමබාහූ රජතුමා භූත කින්නරාදී රූප මකර තොරණකින් අලංකෘත කළ ප්‍රතිමා ගෘහයක් ගොඩ නැංවීය.

අත්තනගලු විහාරයෙහි සොළොස් වෙනි සියවස දක්වාම ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධයෙන් විශේෂ වූ භික්ෂුන් වහන්සේලා සිටියහ. මෙම විහාරයට සීතාවක රාජසිංහ රජතුමාගේ සමයේදීත් පෘතුගීසින්ගේ කාලයේදීත් නොයකුත් දුර්භාග්‍යයන්ට මුහුණ දීමට සිදුවිය. දහඅටවන සියවයසේ කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ සමයේදී ද මෙම විහාරය නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.

පැරණි කාලයන්ට අයත් සැලකිය යුතු සෑමදෙයක්ම ඒ අයුරින්ම මේ අති පෞරාණික පූජිත සිද්ධස්ථානයේ අද දක්නට නොලැබීම අභාග්‍යයකි. මීට දශක කිපයකට පෙර පැරණි දාගැබ් නෂ්ටාවශේෂයන් මත අලුතෙන් දාගැබක් කරවා ඇති හෙයින් මෙම පැරණි දාගැබට හා අංගනයට ආවේනික ලක්ෂණ ගැන වැඩි යමක් කිව නොහැකි බව සදහන් කරන ආචාර්ය පරණවිතාන මහතා කියා සිටින්නේ ස්තූපය වටා ඒක කේන්ද්‍රීය කුලුණු පේළි දෙකක් වූ බවත් ඒවා පිහිටා තිබුණේ තිරියාය හි මෙන් බොරදම් කළ ගල් පුවරුවලින් දරා සිටි වටකුරු මළුවක් මත බවත් ය. ඒ අනුව සිතිය හැක්කේ මුල්යුගයේදී අත්තනගල්ල වටදාගෙය අද පවතිනවාට වඩා බෙහෙවින්ම රමණිය වූ ගෘහනිර්මාණයක් වශයෙන් තිබෙන්නට ඇති බවයි.

අත්තනගල්ල රජමහා විහාරයට නුදුරින් අත්තනගලු ඔයේ පතුලේ තිබී මෑතකදී -සොයාගන්නා ලද අඩි 60ක් පමණ දිග පුවරුවක කොටසක් දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇත. රසායනාගාර පර්යේෂණ මගින් අනාවරණය වූ එය දැව කඳකින් සාදා ඇති බවක් ක්‍රි.ව.8 වන ශතවර්ෂය තරම් පැරණි අවධියකට අයත් වන බවත් ය.