ජාතික කෞතුකාගාරය - කොළඹ

ජාතික කෞතුකාගාරය - කොළඹ

1872 වසරේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධූරයට පත් විලියම් ග්‍රෙගරි මහතා 1973 දී කෞතුකාගාර ගොඩනැගිල්ල සකස් කිරීමට අදාල යෝජනාව ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී .ඉතාලියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සකස් කරන ලද නව ගොඩනැඟිල්ලේ සැලසුම් නිර්මාණය කිරීමට එවකට රජයේ වාස්තු විද්‍යාඥයා වූ ජේ.ජී.ස්මිදර් මහතාට හැකි විය. එහි ඉදිකිරීම් 1874 දී ආරම්භ කර 1876 වසරේදී අවසන් වූ අතර 1877 වසරේ ජනවාරි 01 දින එය නිල වශයෙන් ජනතා ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදී.

1942 දී ජාතික කෞතුකාගාර පනත අංක 31 යටතේ ස්ථාපිත කරන ලදී. ආචාර්ය පී.ඊ. පී. දැරණියගල මහතා ගේ කාලයේ කෞතුකාගාරය ජාතික මට්ටමට දියුණු වූ අතර ඔහු විසින් යාපනය, මහනුවර,පේරාදෙණිය හා රත්නපුර ශාඛා විවෘත කරන ලදී.මේ වන විට කෞතුකාගාර සංඛ්‍යාව නමය දක්වා ඉහල ගොස් ඇත. මීට අමතරව පාසල් විද්‍යා වැඩසටහන් හා ජංගම කෞතුකාගාර සේවා මෙහි ක්‍රියාත්මක වේ.

මෙහි බිම්මහල හා උඩුමහල ලෙස කොටස් දෙකක් පවතින අතර බිම් මහලේ ප්‍රාග් හා පූර්ව ඓතිහාසික යුගය (මධ්‍යම ශිලා යුගය හා පසු අවධීන්ට අයත් ශිලා මෙවලම්/ ආහාර වර්ග/ සුසාන ක්‍රම/ වාසස්ථාන) අනුරාධපුර යුගය (ක්‍රි. පූ. 504 සිට ක්‍රි.ව. 1055 දක්වා කෘෂිකර්මාන්තය/දේශීය විදේශීය වෙළදාම, භාෂාව, සංස්කෘතික අංග), පොළොන්නරු යුගය (හින්දු සංස්කෘතික බලපෑම, ගෘහ නිර්මාණ ශිල්පය, ප්‍රතිමා කලා), සංක්‍රාන්ති යුගය (පැරණිම පුස්කොළ පොත්, ලේඛන ඉතිහාසය පිළිබඳව මූලාශ්‍ර), මහනුවර යුගය(ශ්‍රී වික්‍රම රාජසිංහ රජු භාවිතා කළ උපකරණ, රාජකීය උපකරණ) හා ශිලා පුරාවස්තු (බෞද්ධ ප්‍රතිමා, හින්දු ප්‍රතිමා, සෙල්ලිපි, වාස්තු විද්‍යාත්මක කොටස්, තාක්ෂණික උපකරණ) ලෙස ඓතිහාසික යුග පිළිවෙලට ඒකක වලට බෙදා ඇත. උඩුමහල සිතුවම් මැදිරිය, රෙදිපිළි, මැටි හා පිඟන් භාණ්ඩ, මිල මුදල්, ධජ හා පතාක කලා ශිල්ප, අවිආයුධ, සම්ප්‍රදායික කෘෂිකර්මය, ඩී. එස්. සේනානායක අනුස්මරණ මැදිරිය හා සාම්ප්‍රදායික සම්ප්‍රදායික අභිචාර විධි ලෙස විෂයානුබද්ධව මැදිරි වෙන් කර ඇත.