පානදුර රන්කොත් විහාරය

පානදුර රන්කොත් විහාරය

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 686 බී, පට්ටිය(දකුණ) ග්‍රාම නිලධාරි වසමේ පිහිටි පුරාණ ඓතිහාසික සිද්ධස්ථානයකි රන්කොත් විහාරය. ආරම්භයේ දී ගල්කන්දේ විහාරය,ගල්වලේ පන්සල, ආදී නම් වලින් හැඳින් වූ මෙම විහාරය, ක්‍රි.ව. 1890 ප්‍රතිසංස්කරණ වලදී චෛත්‍යරාජාණන් වහන්සේගේ කොතෙහි රත්රන් ආලේප කිරීමත් සමඟම රන්කොත් විහාරය බවට පත්විය.

අමරපුර නිකාය පිහිටුවා වදාළ භදන්ත ශ්‍රි කතලුවේ ගුණරතන මහානායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යාවරයාණන් වූ බටපොල ශ්‍රී කල්‍යාණතිස්ස නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ රන්කොත් විහාරයෙහි ආරම්භකයාණන් වහන්සේය. වර්ෂ 1810 දී පමණ වර්ස හැන්නදිගේ ප්‍රන්සිස්කු සොවිසා බටබැඳිරාළ මහත්මයා, පොන්නහැන්නැදිගේ ලවරෙන්ති දියෙස් ගුරුන්නාන්සේ මහත්මා, තෙල්ගේ ජොරෝනිස් පීරිස් රේන්ද මහත්මයා යන ප්‍රභූවරු ප්‍රදේශවාසීන්ගේ ආධාර ද සහිතව මෙම ඉපැරණි සිද්ධස්ථානය ගොඩනැගී ඇත.

පළමු කොටම විහාරගෙය කරවූ ඔවූහූ එහි දොළොස් රියන් බුද්ධ ප්‍රතිමාවක් නිමවූහ.1821 ජුනි මස 27 දින සංඝවාසය තැනවීම සඳහා මූලික රැස්වීමක් පැවත් වූ බව පැරණි වාර්තාවල සඳහන් වෙයි. විශාල කළුගලක් මත අඩි 30ක් උසට බැමි බැඳ ඒ මැද පානදුරේ වෙරළෙන් ගෙනවිත් වැලි පුරවා චෛත්‍ය මළුව හා බෝමළුව සකසා ඇත. 1863 දී මෙසේ ගොඩනැඟුණු චෛත්‍යරාජයාණන් වහන්සේගේ ධාතු නිධානෝත්සවය පවත්වන ලද්දේ 1865 දීය. 1873 අගෝස්තු මස 26 සහ 28 යන දින දෙකෙහි පැවති සුප්‍රසිද්ධ පානදුරා මහා වාදයේ ආදී කතෘන් ලෙස ක්‍රියාකළේ ක්‍රි.ව. 1857-1920 දක්වා වු දීර්ඝ කාලයක් අධිපති ධූරය දැරූ වල්පිට ගුණරතනතිස්ස නා හිමියන්ය.

පානදුර අධිකරණයේ පෙරකදෝරු පීතර් දානියෙල් සහ මස්තෙස් සුවාරිස් ගුණවර්ධන යන මහතුන් ජෙරමියෙස් දියෙස් සහ කුරුකුලසුරියගේ කොර්නේලිස් ප්‍රේරා කරුණාරත්න අප්පුහාමි යන මහතුන්ට ක්‍රි.ව. 1873 අගෝ 26 -28 දෙදින තුළ මෙම මහා විවාදය දෙපිල මුහුණට මුහුණලා කළයුතු බව සඳහන් කරමින් එවන ලද ලිපිය විහාරස්ථානයේ අද ද සුරක්ෂිතව ඇත. මෙම මහා වාදයේ ප්‍රතිඵලයක් ලෙස හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ක්‍රි.ව. 1880 මැයි 17 වැනි දින ලංකාවට පැමිණ රන්කොත් විහාරයේ දී ද දේශන පවත්වා ඇති බව වංශකථාවේ සඳහන් වේ.

මුලාශ්‍ර - බුදු සරණ අන්තර්ජාල කලාපය