පාහියන්ගල

පාහියන්ගල

ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති විශාලතම ස්වාභාවික ගල්ලෙන වන පාහියන්ගල ගල්ලෙන කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යටගම්පිටිය ගමේ පිහිටා ඇත. ස්වාභාවික පිහිටිමත්, ප්‍රාග් ඓතිහාසික සාධකත්,බෞද්ධ සංස්කෘතීක ඉතිහාසගත උරුමය හා සම්බන්ධතා යන ආදී පැතිකඩයන් කිහිපයක් ඔස්සේ ම පාහියන්ගල ගල්ලෙන සුවිශේෂි වේ. ස්වාභාවික පිහිටිම අතින් ගත් කල සබරගමු කඳු පන්තියේ රබලි කන්දට මායිම්ව, මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් පමණ ඉහළින් තනි කළුගලක ස්වාභාවිකව සැකසී ඇති මේ ගුහාව සැබැවින් ම සොබාදහමේ විස්මිත නිර්මාණයකි.

ස්වභාව සෞන්දර්යෙන් අනූන අක්කර 80ක පමණ වන ගහනයක පිහිටි ගුහාවේ විවරය අඩි 150ක පමණ උසකින් ද පළල අඩි 175ක් පමණ ද යුක්ත වන අතර එහි ගුහාව අඩි 280ක් පමණ ඇතුළට විහිදේ. විහාලත්වය අතින් දඹුලු ලෙනට වඩා තුන් ගුණයක් පමණ විශාල වූ මෙය දැනට හඳුනාගෙන ඇති විශාලතම ස්වාභාවික ගල් ලෙන මෙය බව පැවසේ.

සොබා සෞන්දර්ය අතින් අනූන ස්ථානයක් වූ මෙයට පාහියන්ගල යන නම ලැබුණු ආකාරය පිළිබදව මත කිහිපයක් ජනප්‍රවාදයේ පවතී. දේශ සංචාරක මෙන්ම සුප්‍රකට ධර්ම ගවේෂකයෙක් වූ චිනයේ පාහියන් භික්ෂුන් වහන්සේ ක්‍රි.වර්ෂ 410 – 432 කාලයේ ශ්‍රි ලංකාවට පැමිණ මෙහි වසර දෙකක් පමණ වැඩ වසමින් වන්දනා චාරිකාවේ යෙදෙමින් ත්‍රිපිටක ධර්මය මෙන් ම වෙනත් ඓතිහාසික තොරතුරු ද එක් රැස් කර ගනිමින් නැවත චීනයට වැඩි බව ඉතිහාසයේ සඳහන් වේ. ශ්‍රී පාදය වන්දනාමාන කිරීම සඳහා පස්දුන් කෝරලයේ සිට ඇති කෙටිම මාර්ගය වන අතර පාහියන් භික්ෂුවගේ ගමන් විස්තරයට අනුව මෙම ලෙනෙහි නවාතැන් ගෙන පාහියන්ගල නිග්ගහ, ගවරගිරිය,මානාන,අයගම,රත්නපුර,කුරුවිට හරහා උන්වහන්සේ ශ්‍රී පාද පද්මය වන්දනාමාන කිරීම සඳහා වැඩිය බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. මෙලෙසින් මෙම ස්ථානයට පාහියන් භික්ෂුන් වහන්සේ වැඩි නිසා පාහියන්ගල වූ බව ද අනෙක් පසින් නැගෙනහිර පැත්තේ ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ බටහිර පස ඇති කළුතර දිස්ත්‍රික්කයත් එකට බැඳ තබන ගල නැතිනම් එකට පාහන ගල නිසා මෙයට පාහියන්ගල කියන බවද ජනප්‍රවාදයේ පවතී.

පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබිලිව්.විජේපාල හා හිටපු පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය ශිරාන් දැරණියගල යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ වර්ෂ 1986-87 කාලයේ පාහියන්ගල ගල්ලෙන ආශ්‍රිතව සිදුකළ පුරාවිද්‍යා පර්යේෂණ මඟින් හෙළි දරව් වූ සාධක අනුව දකුණු ආසියාවේ නූතන මිනිසා පිළිබඳව පැරණිතම මානව සාධක හමු වූ ස්ථානයක් ලෙස ද, ශ්‍රි ලාංකික ආදී කාලීන මානවයාගේ ජීවන තොරතුරු රැසක් හමු වූ ස්ථානයක් ලෙස ද ප්‍රාග් ඓතිහාසික හා ඓතිහාසික වශයෙන් පාහියන්ගල ගල්ගෙන වැදගත් වේ. රතු වර්ණය ආලේපිත ප්‍රාග් ඓතිහාසික මානව කපාල කොටස් හා ආදී මානවයාගේ විශ්වාස හා ඇදිහිලි හෙළි කරන සාධක රැසක් පාහියන්ගල ලෙනෙන් හමු වී ඇත. ප්‍රාග් ඓතිහාසික මානවයා නිෂ්පාදනය කර භාවිතයට ගත් ශිලා මෙවලම්, ආහාරයට ගත් සත්ත්ව හා ශාක ශේෂ ද කැණීම්වලින් සොයාගෙන තිබේ.

‘කරන්නේ පොරෝගම උන්නාසේ ’ නමින් ප්‍රකටව සිටි භික්ෂුන් වහන්සේ මහනුවර සිට පාහියන්ගල බලා වැඩම කරවා හතළිස් රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කර තිබේ. බුද්ධ ප්‍රතිමා වහන්සේ සෑදිමේ දී පොරෝගම උන්නාසේ භාවිතා කළ ඒ මහා නරාසනය නිධන් වස්තුවක් සේ මේ ප්‍රතිමා වහන්සේ ට යට කරන ලද බව කියවෙයි.

නුවර යුගයේ ඇතැම් නිර්මාණ ලක්ෂණ ප්‍රතිමාවෙන් නිරූපණය වුව ද නුවර යුගයේ ප්‍රතිමාවල දක්නට නොලැබෙන ශාන්ත බවක් මේ බුදුරුවෙහි දක්නට ඇත. මෙමගින් ප්‍රාග් ඓතිහාසික මහා මානව උරුමයකට ආගමික මුහුණුවරක් ද ආරෝපණය වී පූජනීයත්වටය පත්වී ඇත.

මුලාශ්‍ර - බුදුසරණ අන්තර්ජාල කලාපය , http://vidya-gaweshana.blogspot.com/