කලුතර බෝධීන් වහන්සේ

කලුතර බෝධීන් වහන්සේ

කලුතර නගරය මධ්‍යයේ රමණීය කළුගං සීමාවේ පිහිටි අතිපූජනීය සිද්ධස්ථානය කළුතර බෝධියයි. උඩ මළුවේ බෝධිය, පහළ මළුවේ බෝධිය, පහළ මළුවේ උතුරු පස බුදු මැදුර, පහළ මළුවේ චෛත්‍යය, පහළ මළුවේ දකුණු පස් බුදු මැදුර, ආනන්ද බෝධීන් වහන්සේ, උඩ මළුවේ චෛත්‍යය, ධර්මශාලාව, සක්මන් මළුව යන අංග වලින් මෙම පූජනීය ස්ථානය සමන්විත වේ.

බෝධි වංශයෙහි සඳහන් පරිදි හා ඓතිහාසික සාධක වලට අනුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණු දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ නමක් මහා ජල්ලික නම් ගම්ක රෝපණය කර ඇති අතර 16 වන සියවසේ විදේශ බලකොටුවක් බවට පත් වර්තමාන උඩ මළුව තුල මෙම බෝධීන් වහන්සේ සත වර්ෂ පහක් පමණ කලක් විරාජමානව වැඩ වසයි. වර්තමාන වටදාගේ පිහිටි ස්ථානයේ ගංගාතිලක නම් වූ විහාරයක් පැවති බවද ඉතිහාස ගත තොරතුරු සනාථ කරයි. ගාලු කොළඹ මහා මාර්ගය හා දුම්රිය මාර්ගය අතර පිහිටි පහත මළුවේ මනාසේ වැඩුනු තවත් බෝධීන් වහන්සේ නමක් සියවස් ගණනක සිට දක්නට ලැබුණු බවට ඓතිහාසික සාධක පවතී. එය ක්‍රිස්තු වර්ෂ 1042 දී කළුතර පාලනය කළ ඉන්දීය සම්භවයක් ඇති වික්‍රම පාණ්ඩ්‍ය රජු විසින් රෝපණය කරන ලද්දක් බව සැලකේ.

පහත් මළුවේ පිහිටි බෝධියට උතුරු පසින් මෙම බුදු මැදුර පිහිටා ඇත. ශාන්ත ඉරියව්වකින් වැඩහිඳිනා සැරියුත් මුගලන් අගසව් දෙනමගේ පිළිමයන් මෙම බුදු මැදුර තුළ නෙළා ඇත. සිදුහත් උපත, කිරිපිඩු පූජාව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කිරීම වැනි ඓතිහාසික කතාවන් හා නෙලුම් මල් රටාවන් මෙම විහාර ගෙය තුළ සිත්තම් කර ඇත. කළුතර උසාවි සංකීර්ණයේ වැඩ කළ තරුණ නීතිඥවරයෙකු වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා සෙන්දනායක උපාසක මහතා හා එක්ව කළුතර බෝධි විහාර භූමිය සංවර්ධනයය කර ඇත. 1960 වර්ෂයේ දී ඉන්දියාවේ මහාබෝධි සමාගමේ සාමාජිකයෙක්ව සිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා විසින් දඹදිව ජේතවනාරාමයේ වැඩ සිටින ආනන්ද බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩමවා ගෙන විත් පහළ මළුවේ දකුණු පසින් රෝපණය කර ඇති අතර එයට ආනන්ද බෝධිය ලෙසින් ව්‍යවහාර කරනු ලබයි. නිර්මාණ ශිල්පී ජස්ටින් සමරසේකර ඇසෝෂියේට් හා ඉංජිනේරු දේශබන්දු විද්‍යා ආචාර්ය A.N.S.කුලසිංහ යන ශිල්පීන් ගේ දායකත්වයෙන් අඩි 6 ක උසක් ඇති කුඩා ප්‍රමාණයේ චෛත්‍යයක්ද සතර දිශාවන්ට මුහුණලා සමාධි සුවයෙන් වැඩ සිටින බුදු රදුන් නිරූපිත හිඳි පිළිම 4ක් හා මල් ආසන හතරක් ද නිමවා ඇත .

මෙම චෛත්‍යයෙහි ධාතු නිධානය හා කොත් පැළඳවීම 1980.02.28 දින සිදු කර ඇත. මෙම චෛත්‍යයට ආරක්ෂාව සපයනු වස් චෛත්‍යය මැදිකරමින් වර්ග අඩි හත්දහස් එකසිය පනහක භූමි ප්‍රමාණයක විශ්කම්භය අඩි 95යි 95.4 ක් හා අඩි 185 ක් වූ වට ප්‍රමාණය අඩි 335කි. වටදාගෙයක් චෛත්‍යයක හැඩයකින් යුතුව නිමවා ඇති මෙම වටදාගෙය අඟල් 5ක ඝනකමින් යුත් කොන්ක්‍රීට් තට්ටුවකින් නිමවා ඇත. ඒ වටා වටදාගෙයි අනුරූ 4 මුහුණට යෙදුම් විශාල ප්‍රාකාරයක් ඉදිකොට තිබේ. උතුරු පසින් හා දකුණු පසින් දොරටු සහිත පිය ගැටපෙළකින් ගර්භයේ ඇති කුඩා චෛත්‍යයට පිවිසීමට මග සළසා ඇත. වටදාගේ ඇතුලත බිත්තියේ පන්සිය පනස් ජාතක කතා හා සම්බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපනය කරන්නා වූ චිත්‍ර 75කින් සරසා ඇත. චෛත්‍ය කුහරයට ගමන් කල හැකි ලොව ඇති එකම චෛත්‍ය ද මෙම මහා විශ්වකර්ම නිර්මාණයය 1974 ජනවාරි 24 දින උත්සවාකාරයෙන් කොත් පලඳවා ඇත.

සිරිල් ද සොයිසා මහතා හා නීතිඥ රීති ද සොයිසා මහතාගේ පාලන භාරකාරීත්වය 1951 නොවැම්බර් 7 දින සභාපති ලේකම් ඇතුළු සාමාජිකයින් අටකින් යුතු කළුතර බෝධි භාරකාර මණ්ඩලය පිහිටුවනු ලැබීය. දායක පඬුරු හා පරිත්‍යාග මත කළුතර බෝධි පරිශ්‍රයේ ප්‍රගතියට සීයට සීයකින් සක්‍රීය දායකත්වය ලබාදෙන්නේ බෝධි භාරකාර මණ්ඩලය යි. දිනපතා හේවිසි ශබ්ද පූජා පවත්වා උදෑසන 6.30 ට පෙරවරු 11.30 ට පස්වරු06.00 ට බෝධිරාජයාණන් වහන්සේලාට හා චෛත්‍ය විහාර තුල වැඩ හිදින බුද්ධ ප්‍රතිමා වහන්සේ හමුවේ බුද්ධ පූජා පවත්වන අතර සෑම දිනකම ධර්ම දේශනා, සෙනසුරාදා ඉරිදා විශේෂ ධර්ම දේශනා, සතර පෝයට සිල් සමාදන් වන බැතිමතුන්ට ධර්ම දේශනා, දිනපතා පැමිණෙන බැතිමතුන්ට සියලු පහසුකම් සැපයීම බෝධි භාරකාර මණ්ඩලයේ නිත්‍ය සේවාවන් වේ .

මුලාශ්‍ර - බුදු සරණ අන්තර්ජාල කලාපය