මගුල් මහාවිහාරය

මගුල් මහාවිහාරය

අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලාහුගල ගමේ පිහිටා තිබේ. රුහුණු මහා විහාරය නමින් කාලයක් හැඳින් වූ මෙය ධාතුසේන රජතුමා විසින් කරවන ලද්දකි. ගම්පොල හතරවන බුවනෙකබාහු හා පස්වන පරාක්‍රමබාහු රජවරුන්ගේ බිසව වූ විහාරමහා දේවි බිසව විසින් 14 වන සියවසේ දී මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කර තිබේ. විශාල කළු ගල් පුවරු භාවිතයෙන් ඉදිකල ප්‍රාකාර දෙකක් මෙම ස්ථානයේ පවතී. වට කරන ලද ප්‍රදේශයේ බෝධිඝරයක්, පිළිම ගෙයක්, දාගැබක්, උපෝසථාඝාරයක් මෙහි ගොඩ නගා තිබේ. ප්‍රාකාර බැම්මට පිටින් වටදාගෙයක හා ආසන ඝරයක අවශේෂයන් පවතී. මොණරාගල පොතුවිල් (ඒ-4) මාර්ගයේ ගමන් කළ විට හමුවන සියඹලාණ්ඩුව හන්දියේ සිට කිලෝමීටර් 18 ක් පමණ දුරකදී මුණගැසෙන පන්සල්ගොඩ හන්දියෙන් දකුණට හැරී තවත් කිලෝමීටර් භාගයක් පමණ ගිය විට මෙම ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි සිද්ධස්ථානයට ළඟා වීමට පුළුවන. විවිධ කාලවකවානු යටතේ දැනට මතුවී ඇති පැරණි නටඹුන් මතින් එදවස විශේෂිත විහාර සංකීර්ණයක් පැවැති බව සනාථ කර ගත හැකි මෙය ලංකාවේ පැරණි බෙදීම් අනුව රුහුණු ප්‍රදේශයට අයත්ව තිබූ ප්‍රමුඛ විහාර සංකීර්ණයක් වශයෙන් පැවත ආ බව නිගමනය කළ හැකිය.

මෙයට මගුල් මහා විහාරය යන නම පටබැඳී ඇත්තේ එදවස රුහුණේ රජකම් කළ කාවන්තිස්ස රජතුමාගේ සහ විහාර මහා දේවිය ගේ විවාහ මංගලෝත්සවය සිදු කෙරුණේ මෙතැනදී බවත් ඔවුන් පෝරුවේ චාරිත්‍රය සිදුකළ ඒ සදානුස්මරණීය මඟුල් පෝරුව ඇත්තේ මෙතන බවටත් අනාදිමත් කාලයක සිට බහුතර ජනතාව අතර ප්‍රබල මතයක් ගොඩ නැගී ඇති නිසාය. වංශ කතාවන්ට අනුව රුහුණු මහා විහාරය නමින් වැදගත් පූජනීය ස්ථානයක් ධාතුසේන රජතුමා විසින් කරන ලද බව සඳහන් වේ. ලාහුගල මඟුල් මහා විහාරයේ තිබී හමුවූ 14 වැනි සියවසට අයත් යැයි සැලකෙන සෙල් පුවරු ලිපි සහ අවශේෂ පුරාවිද්‍යාත්මක නටඹුන් මඟින් ද ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. මෙම සෙල්ලිපි වල ලියවී ඇති කරුණු අනුව ධාතුසේන රජතුමා කළ රුහුණු මහා විහාරය නමින් වූ සිද්ධස්ථානය අද අප හඳුන්වන මගුල් මහා විහාරය ම යැයි සනාථ වේ යැයි නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය නම් ග්‍රන්ථයේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් පවසයි. සෙල් ලිපිය පිහිටුවන අවධියේ විහාරස්ථානය වල් බිහිවී තිබූ අතර නැවත එය පිළිසකර කරවන ලද්දේ විහාරමහා දේවිය නම් වූ වෙනත් බිසවක විසිනි. ඇය පැරකුම්බා රජ දරුවන් දෙදෙනෙකුගේ අගමෙහෙසිය වූ බව ලිපියෙහි සඳහන් ව තිබේ. මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මතය නම් එහි සඳහන්ව ඇති පැරකුම්බා දෙබෑයන් යනු ගම්පොළ යුගයේ සිටි පස්වන පරාක්‍රමබාහු සහ හතරවන බුවනෙකබාහු රජවරුන් බව ය. මහාවංශය සහ පූජාවලියට අනුව 1 වන දප්පුල රජු විසින් රුහුණු වෙහෙර නමින් ආරාමයක් කළ බව සඳහන් වෙයි. ඉතා පැරණි ස්ථූපය, ස්තූපයක නෂ්ටාවශේෂ, බෝධිඝරයක්, ධාතු ගෘහයක්, දම් සභා මණ්ඩපයක්, දාන ශාලාවක්, පිළිම ගෙයක්, පෝය සීමා මාලකයක් සහ පොකුණු, සදකඩ පහන්, මුරගල් ආදිය මේ අතර විශේෂ වෙයි. මෙහිදී හමුවී ඇති සඳකඩපහන ලංකාවේ දී මෙතෙක් හමුවී ඇති එම ස්වරූපයේ එකම සඳකඩ පහණයි.

පුදබිමේ ඇති බෝධිඝරය මතවාද රාශියකට තුඩුදුන් විශේෂ ස්මාරකයකි. මඟුල් පෝරුව වශයෙන් ජනප්‍රවාදයේ හැඳින්වෙන්නේ මෙය යි. ශ්‍රී ලංකාවේ දැනට ඉතිරිව ඇති ඓතිහාසික බෝධිඝර අවශේෂයන් හා සැසදීමේ දී මෙය වෙනස් ආකෘතියකින් නිමවා තිබෙන අතර බෝධීන් වහන්සේ රෝපණය කළ බව සැළකෙන මුල්ම මලුව ලෙස හදුන්වන්නේ මෙයයි. මෙහි ඇති ඉතා ආකර්ෂණීය සොඳුරු නිර්මාණය නිසාම මේ මත ගොඩ නැගී ඇති මගුල් පෝරුව හා සබැඳි ජනප්‍රවාදය විශ්වාසය සහ සත්‍ය මත තවමත් දෝලනය වෙමින් පවතී.