කතරගම කිරි වෙහෙර

කතරගම කිරි වෙහෙර

බුත්තල සිට රජ මාවත ඔස්සේ යාල වනෝද්‍යානයේ උතුරු කොටස හරහා, සෙල්ල කතරගම පසුකර කිලෝමීටර් 4ක පමණ දුරක් ගිය පසු කිරි වෙහෙරට ළඟා විය හැක. නැතිනම් හම්බන්තොට, වීරවිල, තිස්ස හරහා ද කිරිවෙහෙරට ළඟාවිය හැක. තථාගතයන් වහන්සේ තෙවන වරට (ක්‍රි. පූ. 6 වන සියවසේ) ලක්දිවට වැඩම කළ අවස්ථාවේ ධ්‍යානයකට සම වැදුණු ස්ථානයක් ලෙස මෙම ස්ථානය හඳුනාගත හැකිය. මෙම ස්ථූපයේ ආරම්භය කවර වකවානුවක සිදුවූවා ද යන්න කීම අපහසුය. කෙසේ වුවත් ක්‍රි.පූ. 1 වන සියවසට සහ ක්‍රි.පූ. 5 වන සියවසට අයත් සෙල්ලිපි මෙම ප්‍රදේශය අවටින් සොයා ගෙන ඇත. ක්‍රි.පූ. 161 - 137 කාලයේ දී දුටුගැමුණු රජු විජිතපුර සටනකට යාමට පෙර කතරගම දේවාලයට බාරයක් වූ බව කියැවේ. මෙහි දෙතිස්ඵල රුහ බෝ ශාඛාවක් ද රෝපණය කර ඇති අතර සිදුහත් කුමරුන් විසින් කේශච්ඡේදනය කළ මගුල් කඩුවද මෙහි නිධන් කර ඇති බව ජනප්‍රවාදයේ සදහන් වේ. මැණික් ගඟ කතරගම කිරි වෙහෙරට පසෙකින් ගලා බසින අතරම මෙම විහාර පරිශ්‍රයේ ඇති ගල් වලින් එහි පෞරාණිකත්වය කියා පාන්නට සමත් වේ.