නමුණුකුල

නමුණුකුල

නමුණුකුල යනු බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයට ආසන්නව පිහිටා ඇති සුන්දර කඳු පන්තියකි. මෙය මුදුන් නවයකින් යුක්ත නිසාවෙන් නමුණුකුල ලෙස භාවිත වුව ද පැහැදිලිව දක්නට ඇත්තේ කඳු 7කි. තව ද නමුණුකුල කඳුපෙළේ උසම කන්ද පහළ සිට බලන විට නැම්මක් ආකාරයෙන් පෙනෙන නිසා නැමුනූ කුල ලෙස ද පසුකාලීනව එය නමුණුකුල ලෙස ද ව්‍යවහාර වන්නට ඇතැයි සිතිය හැක. මුහුදු මට්ටමේ සිට උපරිම මීටර් 2,035 (අඩි 6,676.5) උසකින් පිහිටා ඇති අතර ශ්‍රි ලංකාවේ උසම කඳු අතරින් 11 වන උසම කන්ද මෙය වේ. විනෝදකාමී තරුණ තරුණියෝ කඳු තරණය සඳහා ද මෙම නමුණුකුල තෝරා ගනිති. නමුණුකුල කන්දට යන අතර මගදී දියනගල නම් ඉතා අලංකාර ප්‍රදේශයක් වේ.

මේ ප්‍රදේශයේ කුඩා දිය ඇලි බොහෝමයක් පවති. ඒ අතරින් ද දියනගලට ආසන්නයේ පිහිටා ඇති නිල්මිණී ඇල්ල ප්‍රමුඛස්ථානයක් ගනී. එය උසින් අඩි 80ක් 100ක් පමණ වන සුන්දර ඇල්ලකි. නමුණුකුල මුදුනේ කදවුරු බිම් 2ක් 3ක් පමණ ඇති අතර කඳු මුදුනේ කුඩා ළිඳක් ද ඇත. දැඩි නියං සමයේදී එම ළිඳ හිස් කළ විට, වැසි ලැබෙන බවට ගැමියන්ගේ විශ්වාසයක් ද පවතී. කෙසේ නමුත් මෙහි ජලය බීමට සුදුසු තත්ත්වයක නොමැත. තව ද කඳු මුදුනේ උතුරු දෙසට වන්නට කුඩා කෝවිලක් සහ බුදු මැදුරක් දක්නට ඇත. නමුණුකුලට ළඟාවීමට මාර්ග කිහිපයක්ම ඇති නමුත් වැඩි පිරිසක් භාවිත කරන්නේ බදුල්ල - පස්සර මාර්ගයේ කි.මී. 2ක දුරින් දකුණට දිවෙන ස්ප්‍රීංවැලි මාර්ගයයි.

මූලාශ්‍ර - ඌව අබිමන - සුධීර හේරත්