මුතියංගණ රජමහා විහාරය

මුතියංගණ රජමහා විහාරය

බදුල්ල නගරය මධ්‍යයේ සහ බස්නැවතුම්පළත් දුම්රියපළත් අතර පිහිටි මුතියංගණ රජමහා විහාරය අසලින් බදුලු ඔය ද ගලා බසියි. ක්‍රි.පූ. 6 වන සියවසේ දී තෙවන වරට බුදුන් වහන්සේ වැඩි අවස්ථාවේ මොහොතකට ධ්‍යානයකට සම වැදී සිටි ස්ථානයක් ලෙස මෙය ප්‍රචලිතය. බුදුන් වහන්සේගේ ධර්ම ශ්‍රවණයෙන් පැහැදීමකට පත් ඉන්දික නම් දිව්‍ය පුත්‍රයා, සැමරුමක් ලෙස තථාගතයන් වහන්සේගෙන් යමක් ඉල්ලූ විට දහදිය බිඳු කිහිපයක් ඉන්දිකට ලබා දී ඇත. එම දහදිය බිඳු මුතු බවට පෙරළුණ බවත් එම මුතු නිදන් කර මෙම සෑය ගොඩ නැගූ හෙයින් මුතියංගණ නම බිහි වුණ බවත් සඳහන් වේ. ඉන් අනතුරුව වරින්වර විවිධ රජවරු විසින් මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර ඇත.

දෙවන පෑතිස් රජු ක්‍රි.පූ. 307 – 267 දෙටුතිස් ක්‍රි.ව. 263 – 273 ධාතුසේන ක්‍රි.ව. 455 – 473 මහා විජයබාහු ක්‍රි.ව. 1055 - 1110 මහා පරාක්‍රමබාහු ක්‍රි.ව. 1153 – 1186 පළමුවැනි රාජසිංහ ක්‍රි.ව. 1581 – 1593 දෙවැනි රාජසිංහ ක්‍රි.ව. 1635 – 1687

සියලුම චෛත්‍ය අංගයන්ගෙන් සමන්විත වර්තමාන දාගැබ වරින්වර විනාශ වෙමින් ප්‍රතිසංස්කරණයට ලක්වෙමින් ගොඩ නැගුණු නිර්මාණයකි. මෙහි පැවතෙන පැරණි ආරාම සංකීර්ණය 16 වන සියවසේ දී පෘතුගීසීන් විසින් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව කියැවේ. කතරගම කිරිවෙහෙර, බදුල්ල මුතියංගණය සහ මහියංගනය යන ස්ථාන තථාගතයන් වහන්සේ වැඩම කළ ස්ථාන 3ක් වන අතර ඒවා බොහෝසෙයින් එකම සරල රේඛාවක පිහිටා තිබීම අපූර් ව සිද්ධියකි.

දෙතිස් ඵල රූහ බෝ ශාඛාව

සංඝමිත්තා මෙහෙනින් වහන්සේ විසින් ක්‍රි.පූ. 3 වන සියවසේ දී ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ දකුණු ශාඛාව සිරිලකට වැඩම කරවන ලද අතර මින් ශාඛා 8ක් වර්ධනය විය. ඒවා අෂ්ඨඵල රූහ බෝ රුක් වූ අතර මේ සෑම බෝ රුකකින්ම බෝ රුක් 4 බැගින් විකසිතව ඇත. මේ අනුව දෙතිස් ඵල රූහ බෝ ශාඛා ඇති විය. මුතියංගණ රජමහා විහාර භූමියේ බෝ රුක් විශාල ප්‍රමාණයක් ඇති අතර ඉන් එක් ශාකයක් දෙතිස් ඵල රූහ බෝධීන්ගේ ශාඛාවක් වන බව සැලකේ. එම නිසා දැනට ඉතිරිව ඇති ඉපැරණිම යුගයට අයත් එකම ස්මාරකයක් ලෙස එම බෝ රුක හැඳින්විය හැක. බුත්තල, දෙමටමල් විහාරය කතරගම සහ මහියංගනය ඌවේ පිහිටි අනික්, දෙතිස් ඵල රූහ බෝ ශාඛා ඇති ස්ථාන වේ.

මූලාශ්‍ර - ඌව අබිමන - සුධීර හේරත්