දෝව පුරාණ ලෙන් විහාරය

දෝව පුරාණ ලෙන් විහාරය

බදුල්ල - බණ්ඩාරවෙල (A16) මාර්ගයේ බණ්ඩාරවෙල නගරයේ සිට කිලෝ මීටර් කිහිපයක් දුරින් දෝව පුරාණ ලෙන් විහාරය පිහිටා ඇත. මෙම විහාරය ක්‍රි.පූ. පළමු සියවසේ දී වළගම්බා රජු විසින් කළේ යැයි විශ්වාස කෙරේ. මේ අනුව ඉන්දීය ආක්‍රමණවලින් පසු ඌව ප්‍රතිසංස්කරණය කොට ඇති අතර මෙය රජු විසින් ගොඩනගන ලද බොහෝ විහාරස්ථානවලින් එකකි . එකල මෙම විහාරස්ථානය කුඹල්තිස්ස ආරියකර පිරිවෙණ ලෙස නම් විණ. මෙම පන්සල ජනප්‍රියට පත්ව ඇත්තේ එහි ඇති දැවැන්ත අඩි 38 කළුගල් පාෂාණ තුළ බුද්ධ ප්‍රතිමාවක් කැටයම් කර තිබීම ය. එමෙන්ම මෙහි දැනට වැසී ගිය උමං මාර්ගයක් ද පවතී.

හිටි පිළිමය

දෝව විහාරයේ වඩාත් ආකර්ෂණීයම නිපැයුම වන ගලෙහි නෙළා ඇති විශාල ප්‍රමාණයේ හිටි බුද්ධ ප්‍රතිමාවයි. ස්වාභාවික ගල ඇතුළට කැන, පිළිමය ඉස්මතු කොට බදාමයෙන් සම්පූර්ණ කර ඇත. මෙම පිළිමය අඩි 30ක් පමණ උසකින් යුක්තය. පිළිමයේ ඉහළ කොටස කලාත්මක අතින් වඩාත් ඉහළ තලයක පවතින නමුත් පහළ කොටසෙහි එම ප්‍රතිභාවට කිසිදු හිමිකමක් නොපායි. එම නිසා යුගයන් දෙකකදී මෙම පිළිමය සම්පූර්ණ වන්නට අතැයි විශ්වාස කෙරේ. සමහර විද්වතුන්ගේ මතය වී ඇත්තේ මෙය වළගම්බා රජු සමයෙන් ඇරඹී පසුව රටේ වූ අවිනිශ්චිත බව නිසාවෙන් මෙය නිම කිරීමට නොහැකි වූ බවයි.

ලෙන් විහාරය

ප්‍රමාණයෙන් විශාල පිළිම ගෙයක් දෝව පුරාණ විහාරයේ පවති. ඒ තුළ විවිධ යුග වලට අයත් විවිධ සිතුවම් දැකිය හැක. මේවායින් බොහෝමයක් නුවර යුගයට හිමිකම් කියයි. ලෙන් විහාරය පිටුපස ඇති උමග රාවණා ගුහා කරා විහිදෙන බවට මතයක් ද පවතී. තවත් උමගක් නාරංගල කඳුවැටිය කරා විහිදේ. විහාරය අසලින් බදුලු ඔය ද ගලා බසියි.

මූලාශ්‍ර - ඌව අබිමන - සුධීර හේරත්