මාතර කොටුව

මාතර කොටුව

පළමු වරට මාතර කොටුව ඉදි කරනු ලැබුවේ පෘතුගීසීන් විසින් යැයි පිළිගැනේ. පෘතුගීසීන් කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල රජු ගේ සහාය මත ක්‍රිස්තු වර්ෂ 1595 දී මාතර කොටුවක් ඉදි කළ බව පිළිගැනුණ ද වර්තමාන කොටුව ලන්දේසින් විසින් ක්‍රි. ව. 1645 දී නිල්වලා ගං මෝය, කලපුව හා මුහුද අතර වූ ත්‍රිකෝණාකාර බිමෙහි ඉදි කර ඇත. නමුත් කොටු දොරටුවේ දැනට සටහන්ව ඇති දිනය 1789 වන අතර එය කොටුව ඉදි කළ දිනය නොව නැවත ප්‍රතිසංස්කරණය කළ දිනයක් බවට සාධක වේ. ලන්දේසීන් ඉදිකළ කොටුව ක්‍රි.ව. 1761 දී මාතර කැරැල්ල නමින් හැඳින්වෙන උඩරට ආක්‍රමණය හේතුවෙන් සිංහල හමුදාව සතු වී ඇත. නමුත් 1762 පෙබරවාරි 2 දා නැවත ලන්දේසීන් කොටුවේ බලය තහවුරු කර ගෙන ඇත. 1796 පෙබරවාරි 24 වන දින මාතර කොටුව ලන්දේසින් විසින් ඉංග්‍රීසින්ට පවරා දී ඇත.

මාතර කොටුව කළු ගලෙන් හා හුණු ගලෙන් නිර්මාණය කර ඇති අතර කොටු බැම්ම හා දොරටුව ඉතා හොඳින් ආරක්ෂා වී පවතී. ලන්දේසි පාලන සමයේ දී කොටුව තුළ ඇත්ගාලක්, දිසාපති නිල නිවස, පැරණි පල්ලිය, කුරුඳු පුවක් හා වෙඩි බෙහෙත් ගබඩා පැවතී ඇත. මෙහි ශේෂිත පැරණිතම ගොඩනැගිල්ල වන්නේ කැණිමඬල සහිත මහලකින් යුක්ත ලන්දේසි වාස්තුවිද්‍යා ලක්ෂණ පිළිබිඹු කරන පැරණි ඕලන්ද පල්ලියයි. පල්ලියේ ඇති පැරැණි ඕලන්ද සොහොන් අතර පැරණිතම සොහොන් ගල ක්‍රි.ව. 1686 දී කළ බවට සාධක වේ. මාතර කොටුවටට බ්‍රිතාන්‍ය පාලන සමයේ එක් වූ ගොඩනැගිලි ලෙස උසාවි ගොඩනැගිල්ල, තානායම මාතර පොලිස් ගොඩනැගිල්ල හඳුනාගත හැකිය.