එළමල්දෙණිය රජමහා විහාරය

එළමල්දෙණිය රජමහා විහාරය

පිටබැද්දරින් හැරී කි.මි. 6 ක් පමණ දුරින් පිහිටි කඳු ගැටයක ඇති ඓතිහාසික එළමල්දෙණිය රජමහා විහාරය, (පිටබැද්දර) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ. අකුරැස්ස - සියඹලාගොඩ මාර්ගයේ සැතපුම් දහයක් පමණ ගියවිට හමුවන එළමල්දෙණිය මංසන්ධියෙන් දකුණට හැරී එළමල් දෙනිය පන්සල පාරේ තවත් සැතපුම් දෙකහමාරක් පමණ ගමන් කළ විට මෙම විහාරය හමු වේ. ආවාස ගෙයි සිට සැතපුම් කාලක් පමණ කන්ද බැස අලංකාර දිය පහරක් පසු කර නැවත සැතපුම් කාලක් පමණ පඩි පෙළක් ඔස්සේ කන්ද තරණය කිරීමෙන් ලෙන් විහාරයට ලඟා වීමට පුළුවන. එතැන් සිට තවත් මීටර් 300ක් පමණ දුරින් චෛත්‍යය ඇති අතර එය අභිනවයෙන් ඉදිකරන ලද්දකි. චෛත්‍යය පිටුපසින් කියවා ගත නොහැකි ලෙස අකුරු මැකී ගිය සෙල්ලිපියක් දැක්වේ. මෙම ලෙන් විහාරයෙහි දොළොස් රියන් සැතපෙන බුදු පිළිමයක් හා හිටි පිළිම දෙකක් දක්නට ලැබෙන අතර මහනුවර යුගයට අයත් බිතු සිතුවම්වලින් විහාරගෙය විචිත්‍රවත් කර ඇත. ඊට අමතරව කතරගම හා විෂ්ණු දේව ප්‍රතිමා ද වේ. මෙම ලෙන් විහාරය හා ආවාස ගෙය පුරා විද්‍යාත්මක ස්මාරකයක් ලෙස සංරක්ෂණය කර ඇත. ජනප්‍රවාදයට අනුව සද්ධාතිස්ස රජු (ක්‍රි. පූ. 137-119) මෙම විහාරය ඉදි කර ඇත. රජු මෙතැනින් ගමන් ගන්නා විට පුද පූජා පවත්වන්නට විහාරයක් සාදා රජු සමග පැමිණි පිරිසෙන් කොටසක් මෙහි නවත්වා ඇත. එම පිරිසෙන් ගම බිහිවී ඇත. වර්තමානයේ දී එළමල්දෙණිය කුඹුරු යායකි. අතීතයේදී එය ලදු කැලෑ සහිත ප්‍රදේශයක් විය. මෙම දෙනියේ සුදු පැහැති මල් වර්ගයක් තිබුණි. සුදු මල් තිබූ නිසා එය එළමල්දෙණිය ලෙස හඳුන්වා ඇත.