දෙවිනුවර රජ මහා විහාරය

දෙවිනුවර රජ මහා විහාරය

මාතර නගරයෙන් කි. මී. 4 1/2 දුරින්, මාතර - තංගල්ල මාර්ගය පසෙක පිහිටා ඇති දෙවිනුවර පරම විචිත්‍රාරාම විහාරයස්ථානය පැරණි රජ දරුවන් කල නම් කර ඇත්තේ ගිරිහෙල් විහාරස්ථානය වශයෙනි. දෙවිනුවර පැරණි නාමය ගිරිහෙල්පුර වූ නිසා ගිරිහෙල් විහාරස්ථානය වශයෙන් නම් කෙරුණු බවට ද තොරතුරු අනාවරණය වේ.

පුරාණයේ බෞද්ධ විහාරස්ථානයකට අයත් සියලුම අංග වලින් සමන්විත මෙම විහාරය මෑත කාලයේ දී ශීඝ්‍රයෙන් සංවර්ධනයට යොමු වී ඇති බව පැහැදිලි වේ. කිහිරි කඳකින් නෙළන ලද දේව ප්‍රතිමාවක් තැන්පත් කොට ඉදිකරන ලද දේවාලයක් හා විහාරස්ථානයක් යන අරුතින් ''කිහිරැලි වෙහෙර'' නමින් ද හඳුන්වා හදුන්වා ඇතැයි ශාසන ඉතිහාසයේ දැක්වේ.දාපුලුසෙන් රජු (ක්‍රි. ව. 660 -665) විසින් එම මහා සාගරයෙන් පාවී දෙවිනුවර සිංහාසන වැල්ලට ගොඩගැසූ කිහිරි කඳෙන් නිර්මාණය කළ දේව රූපය තැන්පත් කොට දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලය ඉදිකර ඇත.

වළවේ ගඟක්‍රි. ව. 660 -665 අතර වකවානුවේදී සර්වඥ ධාතුන් වහන්සේ ද සීවලී මහරහතන් වහන්සේ ද නිදන් කරමින් බුබ්බුලාකාර හැඩයෙන් මෙම චෛත්‍ය ගොඩනැගුණු බව එහි ඇති සෙල්ලිපියකින් දැක්වේ. ක්‍රි. ව. 1066 මහ විජයබා රජු චෛත්‍ය ප්‍රතිසංස්කරණය කර දර්ශනීය වටදාගේ නිර්මාණය කළ බව මහාවංශයේ දැක්වේ. රෝහණ දේශයේ වටදාගෙයක් සහිත චෛත්‍යයක් ගැන සඳහන් වන්නේ නම් ඒ දෙවිනුවර පරම විචිත්‍රාරාම විහාරයේ චෛත්‍ය සම්බන්ධයෙනි. එම වටදාගෙයි නෂ්ටාවශේෂ වූ ගල්කණුවල කොටස් අද ද චෛත්‍ය වටා දිස්වේ. මෙම චෛත්‍ය ඉදිරිපස දර්ශනීය බුදු මැදුරක් හා දෙපස කුඩා දේවාල දෙකක් ද ඇත. චෛත්‍ය මළුවේ ගණේෂ දේවාලය ද ශෛලමය වෘෂභ රූප දෙකක් ද නිර්මාණය කර ඇත. විහාර ස්ථානයේ ප්‍රධානතම නිර්මාණශීලී විහාරාංගයක් වන ඔත්පිළිම ගෙය ක්‍රි. ව. 1306 දී 4 වැනි පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද බවට ශාසන ඉතිහාසයේ දැක්වේ. විහාර දේවාලගම් ආඥා පනත යටතේ රජයේ අනුග්‍රහය ලබන මෙම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර උත්සව සමයේ දී දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගෙන් පුදබිම් පිරී ඉතිරී යයි.

මුලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව amazinglanka.com