හික්කඩුව සමුද්‍රීය උද්‍යානය

හික්කඩුව සමුද්‍රීය උද්‍යානය

මෙම කොරල් උද්‍යානය නිසාම හික්කඩුව දකුණු පළාතේ දෙවනි සංචාරක පුරවරය බවට පත්ව ඇත. අලංකාර කොරල් සම්පතකින් යුත් මෙම නොගැඹුරු වෙරළ තීරය සංචාරකයින් ආකර්ෂණය කරගත් පුරවරයක් බැවින් මෙහි සංචාරක හෝටල් ඇතුලු සංචාරක පහසුකම් ඉතා හොදින් දියුණුව පවත්වා ඇත.

කොරල් යනු ආරක්ෂිත ජීවීන් කොටසකි. මෙහි වගකීම තිබෙන්නේ වනජීවී සංරක්ෂණ දේපාර්තමේන්තුවටය. ඔවුන්ට පැවරී ඇති බලතල අනුව පළමුව මෙය සමුද්‍රීය අභය භූමියක් බවට පත්කරනු ලැබුවාය. ඒ 1979 දීය. හික්කඩුව ගල් මල් උයනේ ආරක්ෂාව පිණිස 1998 දී මෙය ස්වභාව රක්ෂිතයක් දක්වා නීතියෙන් උසස් කළාය. ඉන්පසුව 2002 දී හික්කඩුව, ශ්‍රී ලංකාවේ 16 වෙනි ජාතික උද්‍යානය බවට පත්කළේ අක්කර 254ක භූමි ප්‍රදේශයක් මීට එක් කරමින්ය. වෙරළේ කි.මී.1.5ක් අද උද්‍යානයට අයත්ව පවතී. ලංකාවේ පූර්ණ සමුද්‍රීය උද්‍යානය වන්නේත් හික්කඩුවය.

මුහුදු තෘණ, ඇල්ගී වර්ග, මෙහි දක්නට ලැබෙන අතර, හික්ඩුවේ දී හමුවන ගැටිපර ආකාරයේ කොරල්පරයේ ගණ 31කට අයත් කොරල් විශේෂ 60 ක් වාර්තා වී තිබේ. ගෝන අං, මුව අං, ගෝවා හැඩැති, මොළ හැඩැති, මේඝ ආකාර, තාරකාකාර යනාදී වශයෙන් මෙහි කොරල් ආකාර රැසක් පවතී. කොරල්පර ආශ්‍රීතව දක්නට ලැබෙන ප්‍රධානතම සත්ත්ව කාණ්ඩය පර ආශ්‍රීතව සිටින මසුන්ය. කුල 48 ට අයත් මත්ස්‍ය විශේෂ 113 ක් මෙහි වෙසෙයි. කකුළුවන්, ඉස්සන්, පොකිරිස්සන්, බෙල්ලන්, මුහුදු පණුවන්, මුහුදු කැකිරි, ඉකිරි, වැනි සතුන් ද මෙහි සුලභය. කොළඹ කැස්බෑවා, පොතු කැසුබෑවා යන අය ද හික්කඩුවේ දී හමුවේ. එවන් විශේෂිත උද්‍යානයක් යළිත් දකුණු වෙරළේ දී අපට හමුනොවේ.

ග්‍රන්ථ සහ පින්තූර මුලාශ්‍ර - http://ratawata.blogspot.com