තිස්සමහාරාම විහාරය

තිස්සමහාරාම විහාරය

මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම නගර මධ්‍යයයේ තිස්සමහාරාම වැවට ආසන්නව පිහිටයි. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී දකුණු පළාතේ රජකළ කාවන්තිස්ස රජතුමා විසින් ඉදිකර ඇතැයි සැලකේ. මෙය ශ්‍රී ලංකාවේ පිහිටි විශාලත ම දාගැබ් අතුරින් එකකි.

බෞද්ධයන් විසින් බුදුන්ගේ පාද ස්පර්ශය ලද සොළොස්මස්ථානයන් ගෙන් එක් ස්ථානයක් ලෙස තිස්සමහාරාමය හැඳින්විය හැක. කාවන්තිස්ස රජු කරවූ බවට මහාංශයේ සඳහන් සිලාපස්ස පිරිවෙණ සහිත විහාරය තිස්සමහාරාමය ලෙස පිළිගැනේ.

නමුත් හෙන්රි පාකර් මහතාගේ පිළිගැනීම වන්නේ මහානාග රජු තිස්සමහාරාම දාගැබ නිර්මාණය කළ බවයි. මහා වංශයට අනුව ඉලනාග රජු (ක්‍රි.ව. 35-44) තිස්සමහාරාම දාගැබ විශාල කොට සංරක්ෂණය කර ඇති අතර නැවත වෝහාරික තිස්ස රජු ද (ක්‍රි.ව.214 – 236) I වන විජයබාහු රජු (ක්‍රි.ව.1055 -1110) ද ප්‍රතිසංස්කරණය කරවා ඇත.

ක්‍රි.ව. 2 වන ශත වර්ෂයට අයත් ශිලා ලිපි දෙකක “අකුජු”මහගම හෙවත් අකුජුක නමින් මෙකී විහාරය හදුන්වා ඇති අතර, මහානාම රජුගේ (ක්‍රි.ව. 410-432) ශිලා ලේඛනයක මහගම රජමහා වෙහෙර ලෙසින් හඳුන්වා පලිතොටගමුව ඉඩම් විහාරයට පූජා කළ බව සඳහන් වේ. දප්පුල රජුගේ දෙටගමුව ලිපියේ තිස්සමහාරාමය ලෙසින් හදුන්වා ඇත්තේ “මහ වෙහෙර” යනුවෙනි. 10 වන සියවසට අයත් කිරින්ද ශිලා ලේඛනයේ වම් යටි දළදාව තිස්සමහාරාම ස්තූපයේ නිධන් කර ඇති බව සඳහන් වේ.

දක්ෂිණ ලංකාවේ බෞද්ධ අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රි.පූ 3වන සියවසේ සිට ක්‍රි.ව. 11 වැනි සියවස දක්වා සම්භාවනාවට පත් වූ ස්ථානයක් වශයෙන් ද මෙකී විහාරය වැදගත් වේ.

මූලාශ්‍ර - si.wikipedia.org
www.archaeology.gov.lk