සිතුල්පව්ව රජමහා විහාරය

සිතුල්පව්ව රජමහා විහාරය

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඓතිහාසික සහ පූජනීය ස්ථානයක් වූ සිතුල්පව්ව සිල්වත් භික්ෂූන්වහන්සේගේ මෙන්ම රහතන් වහන්සේගේත් පරිභෝජනයට ලක් වූ පුණ්‍ය භූමියක්ව පැවතුණි.

ක්‍රිස්තු පූර්ව තුන්වන ශත වර්ශයේ දී කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද සිතුල්පව්ව විහාරයෙහි දෙළොස්දහසක් භික්ෂු සංඝයා වැඩ සිටි බව වංශකතාවල සදහන් වේ. ලැඟුම් ගෙවල්, උපෝස්ථාගාර, වැව්, පොකුණු ආදිය තනවා මතු මත්තේ දී මේ පින් බිම රැකගත යුතු බවට නීති පනවා කාවන්තිස්ස රජතුමා විසින් දෙළොස් දහසක් මහ සඟරුවනට පූජා කොට ඇති බව මහා වංශයේ සඳහන් වේ.

සහස්සවත්ථූපකරණයේ සඳහන් පරිදි දුටු ගැමුණු කුමරු එළාර රජු සමඟ සටනට එළඹිමට පෙර සිතුල්ලපව්ව් විහාරයට ගොස් එහි වැඩ වාසය කළ සුපේශල භික්ෂුන් වහන්සේට දන් පිළිගැන් වූ බවත්, ඉන්පසු මා ගමින් පිටත් වූ බවත් සඳහන් වේ. වළගම්බා රජු දමිළයන් සමඟ සටනට පෙර සිතුල්පව්ව අසල වූ ආකාර චෛත්‍යයට පූජාවක් කළ බව වංශකතාවල සඳහන් වේ.

මෙසේ ක්‍රිස්තු පූර්වයේ සිට දෙවනි පැරකුම්බා රජ සමය දක්වා රෝහණයේ අණසක පතුරුවාගෙන සිටි සියලුම රජවරුන් මෙම සිතුල්පව්ව පින් බිමට විශාල මෙහෙයක් කොට විහාරස්ථානයකට අවශ්‍ය සියලු අංගෝපාංග නිමවා, පූජාකොට ඇත. සිතුල්පව්ව පින්බිමෙහි විහාරයට ප්‍රවේශවන මාර්ගයේ පිහිටි වැවේ සොරොව්වේ ද ගල්කණු කිහිපයක් ඇත.

වනගත වු වැදගත් පුදබිමක් ගැන පොතපත කියවා කරුණු හෙලිදරව් කරගත් ගාල්ල යටගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ කලහේ ශ්‍රී රතනජෝති ගුණරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේ නටඹුන්ව ගිය සිතුල්පව්ව ශුද්ධ භුමිය සොයා ගත්තේය.

මූලාශ්‍ර- www.namaskara.lk
southernbest.blogspot.com
raajadhani.blogspot.com