මහා රාවණා කුඩා රාවණා කොටු ප්‍රදීපාගාර

මහා රාවණා කුඩා රාවණා කොටු ප්‍රදීපාගාර

අන්තර් ජාතික මුහුදු ගමනා ගමනයේ සුපතළ ස්ථාන දෙකක් ලංකාවේ ගිණිකොණ දිග මුහුදු කලාපයේ පිහිටා ඇත. සත් සමුදුර පීරාගෙන මෙම ස්ථානය පියමන් කිරීමට ආ නෞකා රැසක් කාලාන්තරයක් තිස්සේ බිලිගත් මෙම ගිරිකුළය මත අද ලෝකයේ විස්මජනක ප්‍රදීපාගාර දෙකක් ඉඳි වී ඇත.

නාවිකයන්ගේ පුවත් කියවෙන ලොමු දැහැගන්වන පුවත් රැසකට සම්බන්ධ මෙම පර්වත දෙක කාලයක් හැඳින්වූයේ පෙරදිග මුහුදු මාර්ගයේ මරු කපොළු දෙකක් වශයෙනි. වර්තමානයේ මෙම කුළු දෙක වඩාත් පෘථුල ලෙස ව්‍යවහාර වී ඇත්තේ ‘ ග්‍රේට් බාසස්’, ‘ ලිට්ල් බාසස් ’ වශයෙනි.

ලංකා ඉතිහාසයේ පැරණිතම රාජධානිය වූ රාවණාගේ ලංකා පුරය මෙහි වී යැයි ඇතැම් විද්‍යාර්ථහූ අනුමානය කරති . මේ ස්ථානයේ තොරතුරු ඇතුළත් කොට ප්‍රසිද්ධ කළ ලිපි හා ග්‍රන්ථ කිහිපයක් ලොව පුරා ප්‍රචලිත වී ඇත. මෙවැනි වැදගත් ස්ථානයක් ලංකාව සතුවීම හා එය මෙරට ගිණිකොනදිග මුහුදු වැසියන්ගේ ද ආඩම්බරයට හේතු වනු නොඅනුමාන ය.

මෙම හිරිගල්පර යුගල හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්ද පොත්තන අතර මුහුදුතීරයට බෙහෙවින්ම සමාන්තරව සැතපුම් ගණනාවක් දිග සාගරයේ විහිදී තිබේ. මහාරාවණා කොටුව හා කුඩා රාවණා කොටුව පිහිටියේ කිරින්දේ සිට නාවික සැතපුම් 8.5 (කි.මී.15.) හා නාවික සැතපුම් 26 (කි.මී.47.5)ක් දුරින් මුහුදේ පිහිටා ඇත. මේවා ගොඩබිම සිට විහිදුන වැලිගල්වලින් නිර්මාණය වී ඇතැයි ද ඒ මත දීර්ඝ කාලයක් කොරල් ගොඩ ගැසීම නිසා කොරල්පර වශයෙන් දිස්වෙන බව භූවිද්‍යාඥයින් අදහස් දක්වයි.

කළු තීරුවකින් වට වූ ධවල වර්ණ බඳකින් යුත් කුඩා රාවණා කොටුව ප්‍රදීපාගාරය ද ධවල වර්ණනයෙන් ඒකාකාරව ඔපවත් වූ මහා රාවණා කොටුව ප්‍රදීපාගාරය ද එකිනෙක වෙන් කොට හඳුනා ගැනීම අපහසු නොවේ. මහාරාවණා හා කුඩා රාවණා කොටු ප්‍රදීපාගාර දෙක පරිසරයේ චණ්ඩ බලවේග යටපත් කොට මිනිසා විසින් ජයගත් විසිවන ශතවර්ශයේ විශිෂ්ටතම ගොඩ නැංවීමේ කර්මාන්තයක් ලෙස සලකනු ලැබේ.

මූලාශ්‍ර - www.sundayobserver.lk
www.ceylonlanka.info