සංඛපාල විහාරය

සංඛපාල විහාරය

රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලෙබැද්ද නගරයට ආසන්නව පිහිටි දර්ශනීය කඳුවැටියක පාමුල සංඛපාල රජ මහා විහාරය පිහිටා ඇත. විශාල ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙම භූමි භාගයේ ලෙන් 15ක් පමණ පිහිටා ඇත. විහාරස්ථාන පසුබිම තුළ කටාරම් ලකුණු සහිත ලෙන්කුටි 15ක් පමණ, වෙහෙර විහාරයන්හි නටබුන් ස්තූප, මෙන්ම පැරණි බෝධි වෘක්ෂයක්ද දැක ගැනීමට ලැබෙයි. මහාවංශයේ හා ථූපවංශයේ සඳහන් විස්තරය අනුව දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන් අතර සිටි ඵුස්සදේව නම් යෝධයා ජීවත් වූයේ සංඛපාල ප්‍රදේශයේය. ඔහු සංග්‍රාමයේදී ජය සංඛ නාද කරමින් දක්ෂ දුනුහේවායකු වශයෙන් යුද ජයග්‍රහණයන් වෙනුවෙන් වෙහෙස වූවෙකි.

ජනප්‍රවාදවල දැක්වෙන ආකාරයට ජයග්‍රහණයන් වෙනුවෙන් ජයසංඛ නාද සිදුකළ යෝධ හක්ගෙඩිය සංඛපාල විහාරයේ කඳු මුදුනේ තැන්පත්කර තිබේ. පැරණි ශිලාලේඛනවලට වම් පසින් ඇති කටාරම් ලකුණු යට හක්ගෙඩියක ලකුණක් සටහන්කර තිබීමෙන් එය තහවුරු වේ. මෙම පුදබිමෙහි ක්‍රි.පූ. දෙවන ශතවර්ෂයට පමණ අයත් බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපි රාශියක් දක්නට ලැබෙයි. ඒවා බොහෝමයක් කාලයත් සමඟ විනාශයට පත් වී ඇත. යුධ ජයග්‍රහණයක උදාරත්වය වෙනුවෙන් ලද ගම්වරයක් වූද මහරහතන් වහන්සේගේ පහසින් පරම පවිත්‍ර වූද සංඛපාල රජ මහා විහාරස්ථානය අපගේ වංශ කතාව වර්ණවත් කළ තවත් ඓතිහාසික පුද බිමකි.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - රත්නපුර දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන)