මඩුවන්වෙල වලව්ව

මඩුවන්වෙල වලව්ව

ඇඹිලිපිටිය රක්වාන පාරේ 14 වන සැතපුම අසල මෙම වලව්ව පිහිටා ඇත. 2 වන විමලධර්මසූරිය රජු දවස මඩුවන්වෙල මහ මොහොට්ටාල විසින් ඉදිකර ඇති මෙහි නුවර යුගයේ පසුකාලීන ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණවලින් යුතු අතර 1700 පමණ මෙහි ආරම්භය ලෙස දැක්විය හැක. පසුව 1725 දී මඩුවන්වෙල විජේසුන්දර ඒකනායක අබේකෝන් මුදියන්සේ විසින් සිංහල උළු සෙවිලිකර මෙය ස්ථීර ගොඩනැගිල්ලක් බවට පත්කර ඇත.

යුගයෙන් යුගයට වෙනස් වෙමින් පැවති මෙය 1877 දී පමණ මඩුවන්වෙල මහ දිසාවගේ (වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අබේකෝන් මුදියන්සේ රළහාමිල්ලාගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල මහ දිසාව) අතට පත්වීමෙන් පසු මෙම වලව්ව කාමර 121ක් මැද මිදුල් 21ක් ආරක්ෂක පවුරු 3ත් සහිත අධිකරණ ශාලාවක් බෝධි ප්‍රාකාරයක් සහිත සුවිසල් වලව්වක් බවට පත්කර ඇත. බිමට බ්‍රිතාන්‍ය මහ රැජිනගේ රුව රැගත් පිඟන් ගඩොල් කැබලි මගින් අලංකාරකර ඇත. විශිෂ්ට ගෘහනිර්මාණ ශිල්පයක ලක්ෂණ පෙන්නුම් කරන මෙහි වර්තමානයේ දක්නට ඇත්තේ කාමර 42ක් හා මැද මිදුල් 7ක් පමණි.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - රත්නපුර දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන)