ගනේගම අරමණාපොළ රජමහා විහාරය

ගනේගම අරමුණපොළ රජමහා විහාරය

රත්නපුර පැල්මඩුල්ල පාරේ 19 වන සැතපුම් කණුව අසල ගනේගම පිහිටා ඇති ගණේගම අරමුණපොළ රජමහා විහාරය හැටියට ප්‍රකට මේ විහාරය පැල්මඩුල්ල නගරයට කිලෝමීටර් දෙකක් පමණ රත්නපුර දෙසට වන්නට ප්‍රධාන මාර්ගය ආසන්නයේම පිහිටා තිබේ.

ඓතිහාසික වශයෙන් සලකා බලන කල ගණේගම රජමහා විහාරය අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රාජ සමය දක්වා දුරාතීතයට විහිදේ. අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධියේ අෂ්ඨ ඵල බෝධීන්ගෙන් හටගත් දෙතිස්ඵල බෝධියක් අදත් ගණේගම රජ මහා විහාරයේ විරාජමානව වැඩ සිටී. එදා මේ විහාරය හඳුන්වා ඇත්තේ දෙනවක විහාරය නමිනි. මේ පිළිබඳව බෝධි වංශයේද සදහන් වේ. එහි දෙනවක විහාරය යැයි හඳුන්වන්නේ මේ විහාරයටය. ඉන් පසු කාලයේ විහාර ඉතිහාසය පිළිබඳව පැහැදිලි සාක්ෂි හමුවන්නේ පොළොන්නරුවේ රාජ්‍ය විචාල පළමුවන විජයබාහු රජ සමයෙනි. එතුමන් කිරිබත්ගල කන්ද හා කුට්ටපිටිය කඳු අතර කෙහෙල්බද්දල හා දෙනවක ගංගා එකට එකතුවන ද්‍රෝණයක් වැනි තැනක බල කඳවුරක් පවත්වා ගෙන ගොස් ඇති බව කියැවේ. එම ස්ථානය මෙතැන බවට දැන් විශ්වාස කෙරේ. මේ ද්‍රෝණය ඇති තැන විහාරය පිහිටි නිසා ද්‍රෝණවක්ක නමින්ද මේ ගණේගම විහාරය ඉතිහාසයේ එක් කාල පරිච්ඡේදයක හඳුන්වා තිබේ.

පළමුවන විජයබාහු රජ සමයේ බොහෝ දුරට ලක්දිව සම්බුද්ධ ශාසනය පිරිහී භික්ෂූන් වහන්සේලා දුර්ලභ කාලයක් උදාවී තිබිණි. විජයබාහු රජු එදා බුරුම දේශයට ගොස් එරටින් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලක්දිවට වැඩම කරවාගෙන මෙහි යළි බුද්ධ ශාසනය පිහිටුවීමට ප්‍රයත්න දරා ඇත. එසේ වැඩම කළ බුරුම හිමිවරු සිරිපා වඳින්නට යද්දී මේ ද්‍රෝණවක්ක විහාරය උන්වහන්සේලා නිතර නවාතැන් ගත් විහාරයක් විය. එකලද ශ්‍රී පාදය ජන සමාජයේ අදවන්ව ප්‍රකටව, ගෞරවනීයත්වයෙන් පැවතී ඇත. බුරුමයේ ආරම්මන නම් දේශයෙන් වැඩි හිමිවරු එදා නිතර මේ විහාරයේ වැඩ සිටි නිසා පසුව අරමුණපොළ විහාරය නමින් ප්‍රකට වූ බව වත්මන් විහාරාධිපති සන්නස්ගම වජිර හිමියෝ පවසයි.

පසු කාලීනව කෝට්ටේ යුගයේ හයවන පරාක්‍රමබාහු රජතුමා තමන්ගේ මව්පියන් සිහිපත් වීම සඳහා රටේ තැනින් තැන වෙහෙර විහාර කරවා තිබේ.

එසේ විහාර කරවද්දී එතුමන් මේ විහාරයේ විහාරගෙයක් කරවා සුනේත්‍රා දේවිය නමට පින් අනුමෝදන්කර සුනේත්‍රාදේවී පිරිවෙණට පූජාකර තිබේ. එය උඩරට පහතරට ගල් වඩුවන් යොදාගෙන ගල් කැටයම් සහිතව ඉතා රමණීයව ගොඩනැගූවකි. උඩරට ගල්වඩුවාගේ කලා කෞෂල්‍යයත් පහතරට ගල්වඩුවාගේ කලා කෞෂල්‍යයත් එකම තැනකදී දැක බලා ගන්නට ගණේගම අරමුණපොළ රාජමහා විහාරය කදිම තැනෙකි. මේ විහාරය වටා ගල් කණු 27ක් කැටයමින් යුතුව කරවා තිබේ. බැලූ බැල්මට විහාරය මහල් දෙකකට පෙනුනත් එය දෙමහල් නොවේ. තනි බිත්තියෙන් ඉහළට නැගුනු මේ විහාර ගෙයි උඩුමහල යැයි සිතිය හැකි ප්‍රදේශයේ පිටතට පෙනෙන පරිදි විහාර ගෙය වටාම කලා කැටයම් දැකිය හැකිය. ඒවා විශ්ණු දෙවියන්ගේ 'දස අවතාර' බව කියැවේ. හයවන පරාක්‍රමබාහු රජ සමයේ දේව සංකල්පය ගැඹුරින් සමාජගතව පැවති බව සාක්ෂි ඇතිව තහවුරු කරන්නටද මේ විහාරය කදිම තෝතැන්නකි.

විහාර ගෙය ආසන්නයේම ඇති කුඩා චෛත්‍යයද එකලටම අයත් වේ. විශේෂයෙන් මේ විහාර ගෙයි වහළයේ රන් කොත් දෙකක් දැකිය හැකි අතර එනිසා 'රන්කොත් වෙහෙර' යැයි පසුකාලයක මේ ඉපැරණි වෙහෙර හඳුන්වන ලදි.

පෘතුගීසීන් ලංකාවට පැමිණි සමයේ අසවේදු නම් පෘතුගීසී සෙන්පතියා මෙතැන තමන්ගේ බලකොටුවක් පිහිටුවා ගෙන තිබේ. ඔහුගේ අනු දැනුම මත කෝට්ටේ යුගයේ ලීයෙන් කළ බුද්ධ ප්‍රතිමා තුනක් නුදුරින් ඇති ගඟට විසිකර දමා තිබේ. පසුව ගඟේ තිබී සොයාගත් අඩි හතරක් පමණ උසැති ඉපැරණි සමාධි බුද්ධ ප්‍රතිමාව විහාර ගෙයි අදත් දැකිය හැකිය. එසේම සුවිසල් සමාධි බුද්ධ ප්‍රතිමාව, පැරණි මකර තොරණ, ගල් උළුවස්ස, දකුණු ඉන්දීය ආභාසය ගත් නාරිලතා රූප ද විහාරයේ කලාත්මක බව, පූජනීයත්වය සේම වටිනාකම ද දෙගුණ තෙගුණ කරන්නනට සමත්ව තිබේ. සීගිරි සිතුවම්වල තාර ගෑ පසු යළි මතුකර ගත් 'මරන්සි' නම් විදෙස් චිත්‍ර ශිල්පියා මේ විහාරයේද මැකී ගිය චිත්‍ර යළි මතු කරන්නට කටයුතු කළ අවස්ථාවේ විහාරගෙයි බිත්තියේ තිබී පෘතුගීසි සොල්දාදුවෙකුගේ හා පූසන් දෙදෙනකුගේ සිතුවම් මතුකරගෙන තිබේ. පෘතුගීසි බලකොටුවක් පැවති බව දැක්වීමට ඒවා ද සාක්ෂි සාධක වෙයි. එකලම මේ විහාරයේ තිබූ ඇත් දළ, රන්රදී මුතුමැණික් ආදී බොහෝ දේ පෘතුගීසීන් විසින් පැහැරගෙන ගොස් තිබේ.

එකල ලංකාවේ බුද්ධ ශාසනය පිරිහී පැවති අතර සිවුරු හැර සිල්වතුන් හැටියට වාසය කළ පිරිසක් ශාසනය සන්තක දේ ආරක්ෂා කරගෙන ඇති බව කියැවේ. ගණින්නාසේලා හැටියට ප්‍රකටව ඇත්තේ මේ සිල්වතුන්ය. ඒ අය සිටි තැන් ගණේමුල්ල, ගණේලන්ද, ගණේගම, ගණේවත්ත ආදී කොට ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටා තිබේ. මේ ස්ථානය 'ගණේගම රජමහා විහාරය' යනුවෙන් හඳුන්වන්නේ එවැනි ගණින්නාන්සේලා මේ ප්‍රදේශයේ සිටි නිසාය. වැලිවිට සරණංකර සඟරාජ මාහිමියන් සියම් දේශයෙන් භික්ෂූන් වහන්සේලා වැඩම කරවාගෙන ලක්දිව යළි බුදුසසුන ස්ථාපිත කිරීමෙන් පසු මහනුවර සමයේදී කොට්ටිමුල්වල අනෝමදස්සී හිමියන් විසින් නැවත මෙම විහාරය ගොඩනැංවීමට කටයුතු කළ බවත් එයට සතුටු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගම්වරයෙකුත් සමඟ විහාරස්ථානය කොට්ටිමුල්වල අනෝමදස්සී හිමියන්ට පූජා කළ බවත් මහනුවර යුගයේ ලියැවී ඇති තඹ සන්නසක සඳහන් වේ.

උන්වහන්සේට වැලිගොඩපළින් හටන්ගල පාරේ කොට්ටමුල්ල නම් රාජමහා විහාරයක්ද රජු පූජා කොට තිබේ. එය වලගම්බා රජු විසින් කැරවූවකි.

80 දශකය දක්වාම ඒ විහාර සම්ප්‍රදායට අනුව ගණේගම අරමුණපෙළ විහාරයේද අයිතිය පැවතියේ කොට්ටිමුල්ල විහාරයටය. නමුත් දැන් එය වෙනම විහාරයක් ලෙස කටයුතු කරයි. ප්‍රධාන ගමන් මාර්ගයට දිස්වන ඉතා රමණීය අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුව කරවා ඇත්තේ මේ විහාරයේ වැඩසිටි ගණේගම පියරතන නාහිමියන් විසිනි. එසේම මෑත භාගයේ ඉදිකළ පොළොන්නරු ගල් විහාර අනුරුවද මේ පින්බිමේ දී දැකගත හැකිය.

සෑම වර්ෂයකම රත්නපුර මහා සමන් දේවාලයේ පෙරහැරට සමගාමීව සිදුකෙරෙන පිරිත් කටයුතු සිදු කෙරෙන්නේ ද අරමුණුපොළ රාජමහා විහාරයෙනි. මේ විහාරයේ භාරකාර හිමියන් හැටියට ඌව සබරගමුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක බදුලෙන රාජමහා විහාරාධිපති පාතකඩ විමලරත්න නාහිමියෝ කටයුතු කරති. කැටයම් කරන ලද ගල් ගණු 27ක් සහිත විහාර ගෙයද, ලීයෙන් කැටයම් කරන ලද බුදු පිළිම වහන්සේ ද, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේන් හටගත් දෙතිස් මහා ශාඛා බෝධීන් වහන්සේ ද මෙහි ඇති පෞරාණික වටිනාකම් කිහිපයකි.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - රත්නපුර දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන)