බෙල්ලන්බැඳි පැලැස්ස

බෙල්ලන්බැඳි පැලැස්ස

ඇඹිලිපිටිය හන්දියෙන් උතුරට හැරී ගල්පාය පාරේ සැතපුම් 15ක් පමණ ගියවිට බෙල්ලන්බැඳි පැලැස්ස හමුවේ. බෙල්ලලන්බැඳි පැලැස්ස යනු පර්යන්ත ප්ලෛස්ටොසීන - හොලොසීන ශ්‍රී ලංකාවේ ඉතා වැඳගත් ප්‍රාග්-ඓතිහාසික අඩවි වලින් එකක් වන අතර බලංගොඩ මානවයා ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රාග්-ඓතිහාසික ඇටසැකිලි නෂ්ටාවශේෂ ද්‍රව්‍යය අතුරින් ප්‍රධානතමය මෙම ස්ථානයෙන් හමුවී ඇත. බෙල්ලන්බැඳි පැලැස්ස නවීන මානවයාගේ හෙවත් බලංගොඩ මානවයාගේ ක්ෂේම භූමිය ලෙස සැලකේ. මෙය එළිමහන් ජනාවාසයකි. 1950-60 දශකයේ පී.බී.දැරණියගල මහතා විසින් මෙම ස්ථානය සොයාගෙනු ලැබිණි. එකල කළ කැණීම්වලදී බලංගොඩ මානවයාගේ සැකිලි 16ක් සොයා ගත් අතර ඒ සැකිලි මානව විද්‍යා පර්යේෂණ සඳහා යොමු කරන ලදි.

එකල බෙල්ලන්බැඳි පැලැස්ස කාල නිර්ණය කළේ අදින් වසර 5000කටය. එම කාල නිර්ණය පිළිබඳ විවාදාත්මක ගැටලු ඇති වූ නිසා 2005 දී බෙල්ලන්බැඳි පැලැස්සේ සීමීත කැණීමක් කොට ප්‍රාග් ඓතිහාසික ජනාවාස පස් තට්ටුව නවසීලන්තයේ වයිකාටෝ විශ්වවිද්‍යාලයේ කාල නිර්ණ රසායනාගාරයට යැවූ අතර ඒ ජනාවාස පස් තට්ටුවේ කාල නිර්ණ 3ක් ලැබුණි. ඒ අනුව අදින් වසර 13000කට පෙර ලංකාව ජනාවාසව පැවත තිබේ.

එනම් අදින් වසර 13000කට පෙර ඇඹිලිපිටිය වලවේ ගඟ ඉවුර ආශ්‍රිත අන්තර් දේශගුණික කලාපයේ නවීන මානවයා (බලංගොඩ මානවයා) විවෘත භූමිය තම යැපීම් භූමිය කොට ගෙන ජීවත් වී තිබුණු බවක් පැහැදිලි වේ. අන්තර් දේශගුණික කලාපයේ විසූ බලංගොඩ මානවයා සමඟ හිලෑ බල්ලන් විසූ බවට සාක්ෂියක් ලෙස බෙල්ලන් බැඳි පැලැස්සෙන් හමුවූ හීලෑ බල්ලකුගේ දත සහ හකු කැබැල්ල දැක්විය හැකිය.

ප්‍රාග් ඓතිහාසික මානවයා දඩයම සඳහා බල්ලන් යොදාගත් බව හෝ හීලෑ බල්ලන් මානවයා සමඟ විසූ බවට හෝ දකුණු ආසියාවෙන් ලැබෙන පළමු සාධකය මෙය බව සඳහන් කළ යුතුය. ඒ නිසා බෙල්ලන්බැඳි පැලැස්ස පුරාවිද්‍යාඥයන්ට ඉතා වටිනා තෝතැන්නකි. එතැනදී බලංගොඩ මානවයාගේ යැපීම් ක්‍රම, ආහාර රටාව,අභිචාර, අවකාශය බෙදා ගැනීම, සාමුහික ක්‍රියාකාරකම් (දඩයම) ආදී පිළිබඳ තොරතුරු හමුවී තිබේ.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - රත්නපුර දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන)