බඹරගල ආරණ්‍ය සේනාසනය

බඹරගල ආරණ්‍ය සේනාසනය

දුටුගැමුණු රජතුමාගේ කාලයේ එනම් අනුරාධපුර යුගයේ සිට පුරාවිද්‍යාත්මක සාධක හමුවන බඹරගල ආරණ්‍ය සේනාසනය පැල්මඩුල්ල ඇඹිලිපිටිය පාරේ පල්ලෙබැද්දෙන් උතුරට හැරී සැතපුම් 4 ½ ක් පමණ ගල්පාර මාර්ගයේ ගියවිට හමුවන කඳුගැටයකි. පිවිසුම ආසන්නයේ හමුවන ගල්කණු සහිත ගොඩනැගිල්ලක නටබුන් මෙම සිද්ධස්ථානයේ ඇති පෞරාණික වටිනාකම කියාපායි.

බඹරගල ඉතිහාසයට සාක්ෂි දරන සෙල්ලිපි සමහරක් 2300ක් පමණ පැරණි බවට පුරාවිද්‍යා පර්යේෂණ අනුව පෙන්වා දී ඇත. ක්‍රි.පු. 02 වන සියවසේ සිට ක්‍රි.පු.12 වන සියවස දක්වා ආරණ්‍යයක්ව පැවති මෙහි ක්‍රි.පු. 02 වන සියවසට අයත් ලෙන් ලිපි කිහිපයක්ද හමුවන අතර මෙයට වසර 800කට පමණ පෙරද ජනාවාසව පැවතුණු බව මෙහි ලියවී ඇති අවසාන සෙල්ලිපිය සටහන්කර ඇත.

අතීත තොරතුරු අනුව වලගම්බා රජු යුගයේ ඇති වූ බැමිනිටියා සාය නැමති නියඟයට පසු වල් බිහි වී බොහෝ කාලයක් වනගතව තිබී ඇති මෙම සේනාසනය නැවත ජනාවාස වී ඇත්තේ ගොතටුවේ ධම්මානන්ද හිමියෝ 1968දී මේ ස්ථානයට වැඩමවීමත් සමඟයි.

පැරණි සෙල්ලිපි සහිත ලෙන් 06ක් සමඟ මෙම කන්දෙන් මෙතෙක් හමුවී ඇති ගල්ලෙන් ගණන 15ක් පමණ වේ. බඹරගල ලෙන ආශ්‍රිතව ක්‍රි.පූ.03වන සියවසේ ලියවුණු බ්‍රාහ්මී අක්ෂර සෙල්ලිපියක් ඇත. බඹරගල ලෙන් තුළ විශාල වශයෙන් බඹර වද බැඳ තිබීම මෙයට බඹරගල නම පටබැඳීමට හේතු වී යැයි පැවසේ.

එමෙන්ම මෙහි හමුවන ලෙන්වලට සාපේක්ෂව විශාල ලෙනක් වන කනබිසෝ ලෙන වැඳගත්කමක් උසුලයි. දිගින් අඩි 100ක් ද පළලින් අඩි 24ක් ද වන මෙම ලෙන් පියස්සේ අඩි 24ක් දිගට කටාරම් කොටා ඇත. පසෙකින් මැටියෙන් බිත්ති බැඳ ඇති අතර එයට යාමට උළුවස්සක් හා ජනේලයක් සකස්කර ඇත. වර්තමානයේ ස්වාමීන්වහන්සේලා භාවනායෝගීව ධ්‍යාන වඩන මෙම නිස්කලංක අක්කර 800ක් පමණ වූ භූමි භාගය සමඟ එහි වූ ස්වභාව සෞන්දර්ය රැකගැනීම සැමගේම යුතුකමකි.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - රත්නපුර දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන) http://dahamvila 9. blogspot.fr/ http://www.panoramio.com/photo/ 88883461