කිතුල්ගල බෙලි ලෙන

කිතුල්ගල බෙලි ලෙන

බලංගොඩ මානවයා සම්බන්ධ තවත් වැදගත් සාක්ෂි රැසක් හමු වූ කිතුල්ගල බෙලිලෙන කෑගල්ල යටියන්තොට ප්‍රදේශයේ හමුවන පුරාවිද්‍යාත්මක වටිනා වටිනාකම්කින් යුත් ස්ථානයකි. කොළඹ අවිස්සාවේල්ල හරහා කිතුල්ගල ට පැමිණ එතැනින් දකුණට හැරී ගිණිගත්හේන, හැටන් මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කළ විට හමුවන බෙලිලෙන පුරාවිද්‍යා භූමිය නම් දැන්වීම් පුවරුව සහිත යාහින්න මංසන්ධියෙන් වම් පසට වැටී ඇති මහබාගේ මාර්ගයේ රබර් යායවල් පසුකරමින් කි.මී. 4ක් පමණ පැමිණි කල ඉන් ඔය දෙමළ විද්‍යාලය හමුවන අතර එහි සිට තවත් කිලෝමීටර් භාගයක් පමණ පැමිණීමෙන් බෙලිලෙන නම් ඓතිහාසික ස්ථානයට පිවිසිය හැකිය. සොබා සෞන්දර්යයෙන් අනූන පරිසරයක පිහිටි මේ ඓතිහාසික භූමිය තුළින් මේ වන විට මතු කරගනිමින් පවතින්නේ සැඟව ගිය වසර 30,000 ක පමණ අතීතයක සාක්ෂි පමණක් නොවේ. අතීත රජදරුවන්ගේ කල ලංකාවේ ගෘහ නිර්මාණ කලාව පිළිබඳ තොරතුරු ද මෙම ලෙන් භූමියෙන් හමු වේ.

මෙම ස්ථානයට බෙලි ලෙන නම් නම ලැබී ඇත්තේ එහි හමු වූ ගොළුබෙල්ලන්ගේ බෙලි කටු නිසාය. මෙම ප්‍රදේශයේ හමුවූන ගොළුබෙලි කටු තියුණු ආයුධ වලින් සිදුරු කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර ඒවා ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර වන්නට ඇති බවත් එයට අමතරව ගෝනා, මුවා, මීමින්නා, ගවරා, වඳුරා, වළි කුකුළා, ඉත්තෑවා වැනි සතුන්ද ආහාර ලෙස ගත් බවත් හමුවී ඇති අස්ථි කොටස් ආදී සාධක වලින් පැහැදිලි වේ.