බතලේගල

බතලේගල

සෞන්දර්යත්වය හා ඓතිහාසිකත්වය ද කැටි වූ සොබාදහමේ අපූරු නිර්මාණයක් වූ බතලේගල කන්ද සීගිරියේ අනුරුවක් වැනි වූ නිසා පුංචි සීගිරිය ලෙසින් ද හඳුන්වයි.උතුරින් උතුවන් කන්දටත්, දකුණෙන් සාමස්සර කන්දටත්, නැගෙනහිරින් අම්බුළුවාව කන්දටත්, බටහිරින් ඌරා කන්දටත් මායිම් වූ මේ කුඩා කඳු ගැටය පිහිටා ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායකට ආසන්නව ය. මුහුදු මට්ටමේ සිට අඩි 2780 ක් පමණ උසකින් පිහිටි බතලේගල කන්ද මුදුනේ වන පර්වතය අඩි පන්සිය හතළිහක් පමණ උස වේ. මාවනැල්ල නගරයේ සිට දෙබන්ගමට යන බසයක නැගී අනතුරුව හතත්ගම්පල නැමති හංදියෙන් බතලේගල පර්වතයට යන මාවත අසලින් බැස එතැන් සිට කි.මී 2.5 ක පමණ දුරක් පයින් ගමන් කළ පසු පර්වතයට නැගිය හැකි අතර, එම ගමනේදී මෙම මාර්ගයට පර්වතය ආශ්‍රිතව ඇති අක්කර 150ක් පමණ වූ රක්ෂිතය නැරඹිය හැකිය. මෙය අපූරු ජෛව විවිධත්වයකින් යුතු වූවකි.

මෙහි සුලභව දක්නට ඇති දුර ලබා ආවේණික ශාක කිහිපයක් ඇටඹ-( mangifera zeylanica) වල්දෙල්-( artocarpus nobilis) හල්මිල්ල berrya cprdifolia) මිල්ල -(vitex ailissima) බලබොඩ -(myristica dectylordes)බදුල්ල-( semecarpus gardneri) කළුමැදිරිය, කිතුල් -(Caryoto urens),භූ කෙන්ද, අත්කෙන්ද -(Acronychia peduncularta.), වල්කුරුඳු -( Cinnamomum dubium). මහෝ -(Swietenia macrophyla.), පුස් වැල්, රසකිඳ වැල්-(Ainospora cordifoilia.) ,සත්සඳ, කොතලහිඹුටු ,ආරත්ත,තෙබු, ගඳපාන කොටකිඹුල, කැන්ද -( Macaranga peitota.),හවරි නුග-(Alstonia macrophyla.) පොඩිසිංඤෝ මරං - (Eupatorium odorotu.)

මෙහි ශාක අතර ඖෂධීය අගයෙන් ඉතා ඉහළ වටිනාකමකින් යුත් ශාක රාශියක් ද වේ. බතලේගල පර්වතය හා රක්ෂිතය ආශ්‍රිතව විශාල සත්ත්ව විවිධත්වයක් ද ඇත. ජෛව විවිධත්වයෙන් අනූන සොබාදම් මාතාවගේ අපූරු නිමැවුමක් වූ බතලේගලට අද ලබා ඇත්තේ එතරම් යහපත් කල දසාවක් නොවේ. ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ව විශේෂ ගණනාවකින් සමන්විත ව, පාරිසරික තුලිතතාව ඉමහත් මෙහෙයක් ඉටුකරන මෙකී පරිසරය රැක ගැනීම අද දවසේ අප සැමගේ යුතුකම වේ.