තෝනිගල සෙල්ලිපි

තෝනිගල සෙල්ලිපි

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් ආණමඩුව පිහිටි තෝනිගල සෙල් ලිපිය මෙරට දිගම සෙල්ලිපිය ලෙස සැළකේ. එය පුත්තලම-කුරුණෑගල මාර්ගයේ, පුත්තලම සිට කිලෝ මීටර 24 ක් පමණ දුරින් පිහිටා තිබේ. මේවා ක්‍රි. ව. 1 වන සියවසට අයත් යැයි සැලකේ. දුටුගැමුණු රජුගේ කාලයට අයත් යැයිද මතයක් පවතින අතර වළගම්බා රජුගේ පුත් මහකුලි මහතිස්ස රජ සමයට අයත් බවට ද සැලකෙන මේවා ලංකාවේ දිගම සෙල්ලිපි බවට අදහස් කෙරේ.

මේ ආශ්‍රිතව පවතින ප්‍රකට ජනප්‍රවාදයක් ද වේ. විජය රජු විසින් කුවේණිය පලවා හැරීමෙන් පසුව ඇය මේ ආසන්නයේම පිහිටි ලතෝනිගල ට නැගී විජය ඇතුළු පිරිසට සාප කල බවද ඉන් අනතුරුව ඇය එම ගලින් පැන සියදිවි නසාගත් බවද ඉන් කියවේ. මෙහි ඇති සෙල් ලිපිවලින් තෝනිගල වැව පරමාකන්ද නම් වූ ඒ අසලම පිහිටි විහාරයට පූජා කළ බවද කියැවේ.

පළමු සෙල්ලිපිය

පරුමක අභය පුත පරුමක තිශහ වපි අචරගිරික තිශ පවතහි අගත අනගත චතු දිශ ශගශ දිනෙ දෙවනපිය මහරජ ගමණි අභයෙ නියතෙ අචනගරකච තව් රිකිය නගරකච පරුමක අභය පුත පරුමක තිශ නියත පිතෙ රජහ අගත අනගත චතුදිශ ශගශ

අනුවාදය

‍ප්‍රමුඛ අභයගේ පුත්‍ර ප්‍රමුඛ තිස්සගේ වැව අචාරගිරික තිස්ස පබ්බත විහාරයේ සතර දිගින් වඩිනා පැමිණි නොපැමිණි සංඝයාට පූජා කරන ලදී. ප්‍රමුඛ අභයගේ පුත්‍ර ප්‍රමුඛ තිස්ස විසින් සතර දිසාවෙන් පැමිණි නොපැමිණි මහා සංඝයාට රජු ලවා පූජා කරවන ලදී.

දෙවන සෙල්ලිපිය

මෙම සෙල්ලිපියෙන් ද සංඝයා වහන්සේට කළ පූජාවක් පිළිබඳ ව සඳහන් වන අතර එය පළමු සෙල් ලිපියේ සිට මීටර 400 ක් පමණ ඊසාන දිශාවෙන් පිහිටයි. පරුමක අභය පුත තිශෙ නියතෙ ඉම වපි අචගිරික තිශ පවතහි අගත අනගත චතුදිශ ශගශ දෙවන පිය මහරජ ගාමිණි අභය නියතෙ අචනගරකච තව්රිකිය නගරකච අචගිරික තිශ පවතෙහි අගත අනගත චතුදිශ ශගශ පරුමක අබය පුත පරුමක තිශ විහර නියත පිතෙ

අනුවාදය

ප්‍රමුඛ අභයගේ පුත්‍ර ප්‍රමුඛ තිස්ස විසින් මෙම වැව අච්චගිරි තිස්ස පබ්බත විහාරයේ සිව් දිගින් පැමිණි නොපැමිණි මහා සංඝයාට පූජා කරන ලදී. දේවානම්පිය වූ ගාමිණී අභය මහරජ අච්ච නගරය හා තවුරිකිය නගරය අච්චගිරික තිස්ස පබ්බත විහාරයේ සිව් දිගින් පැමිණි නොපැමිණි මහා සංඝයාට පූජා කරන ලදි.

ග්‍රන්ථ සහ පින්තූර මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව