උස්සාව ශ්‍රී නාගල රජමහ විහාරය මැල්සිරිපුර

උස්සාව ශ්‍රී නාගල රජමහ විහාරය මැල්සිරිපුර

ක්‍රි.ව. 2-3 වන සියවස්වලට අයත් යැයි අනුමාන කරන ඓතිහාසික උස්සාව ශ්‍රී නාගල රජමහා විහාරය මැල්සිරිපුර මඩහපොල මාර්ගයේ 4 වන කිලෝමීටර කණුව අසළ පිහිටි ඉතා රමණීය තැනිතලා භූමි භාගයක පිහිටා ඇති පෞරාණික විහාරස්ථානයකි. අද වන විට අවුරුදු දෙදහසක් පමණ පැරණි යැයි සැලකෙන දුටුගැමුණු රජතුමා විසින් කරවන ලදැයි ප්‍රකට උස්සාව රජමහා විහාරයද ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඓතිහාසික වැදගත්කමක් ලබා දෙන විහාරස්ථානයකි. හුණු ගලින් නිමවූ දරණ සහිත නාග රූපයක් විහාර මළුවේ දක්නට තිබෙන නිසා නාගල විහාරය නමින් මෙම විහාරස්ථානය ප්‍රකට වී ඇත.

තවද මෙහි පෝය සීමා මාලකය, ශිලා ලේඛන, ගල්කණු, කයියෝරු, සඳකඩ පහණ ආදී පුරාවිද්‍යාත්මක නටබුන් රාශියක් දක්නට ඇත. දැනට ප්‍රතිසංස්කරණ කර නිමවා ඇති මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ අනුරාධපුර යුගයේ දුටුගැමුණු රජ දවස කළ බවත් ශතවර්ෂ 1727 දී උස්සාව රජමහා විහාරය සිංහලයේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමයේ පිළිමතලාවේ අදිකාරම් ගේ මූලිකත්වයෙන් දළදා මාලිගාවේ තේවාවේ නිරත ව සිටි මිල්ලවාන ගුණරත්න හිමිනමට පූජා කළ බවත් මහවෙලපිටිය පිටිය නැමැති ඉඩම ලියා ඇති දුටු පතෙහි සඳහන් වේ. තවද විහාරස්ථ චෛත්‍ය රාජයාණන් වහන්සේ උස සෑය ලෙස ඈත අතීතයේ පැවති බවට සාධක ඇත. ඒ අනුව උස සෑය - උස්සෑය - උස්සාව වී ඇති බව ජනවහරේ සඳහන් වේ. ඒ නිසාම උස්සාව පිහිටි ග්‍රාමය උස්සාව නමින් ප්‍රකට වී ඇත.

ග්‍රන්ථ මූලාශ්‍ර - අන්තර්ජාලය ඇසුරෙන්