බතලගොඩ වැව

බතලගොඩ වැව

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඓතිහාසික වැදගත්කම ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යන අතර ඉහතින් සඳහන් කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ප්‍රධාන රාජධානි හතරට අමතරව බදලත්ථලි තනි නම් උප රාජධානියක් ඉබ්බාගමුව බතලගොඩ වැව ආශ්‍රිතව පිහිටා තිබූ බව ඉතිහාසය සඳහන් වේ. අතීතයේ බතලගොඩ ප්‍රදේශයේ මංගලපුරය ලෙස හඳුන්වා ඇති බවද මහා වංශයේ සඳහන් කරන අතර ඒ නිසාම බතලගොඩ වැව අවට ප්‍රදේශයට ඓතිහාසික වැදගත්කමක් ලැබී ඇත.

මෙම වැව මුලින්ම ඉදිකරන ලද්දේ පළමුවන පැරකුම් රජුගේ අමාත්‍යවරයකු වූ බදලත්ථලි විසින් බවට මතයක් ඇත. එම අමාත්‍යවරයා විසින් දැදුරු ඔය හරස් කර අමුණක් බැඳ වේලක් ඔස්සේ ලබාගත් ජලයෙන් වැව පිර වූ බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව පසුකාලයේදී මෙම වැව “බදලත්ථලවාපි“ වශයෙන්ද මෙම “ප්‍රදේශය බදලත්ථලි“ වශයෙන්ද හැඳින් වූ බවට මතයක් ඇත.

එය කෙසේ වුවත් පසුකාලීනව කල්‍යාණවතී රැජින (ක්‍රි.ව.1202-1208) විසින් බතලේගොඩ වැව ප්‍රතිසංස්කරණය කළ බව ඉතිහාසයේ සඳහන් වේ. වැවේ සොරොව්ව අසල ඇති සෙල් ලිපියෙන් මෙම තොරතුරු සනාථ වන අතර, කල්‍යාණවතී රැජින විසින් මෙම සෙල්ලිපිය සියලු දෙනාගේම දැනගැනීම පිණිස සකසන ලදැයි සඳහන් වේ. සෙල්ලිපියට අනුව වැව සහ වැව් බැම්ම, වැව් සොරොව්ව සහ වැව් රක්ෂිතය සියලු දෙනා විසින් ආරක්ෂා කළ යුතුය.

මින් පසුව බ්‍රිතාන්‍ය යුගයේදී (ක්‍රි.ව. 1894 දී) ප්‍රකට ඉංග්‍රීසි ජාතික ඉංජිනේරු ඉංජිනේරුවරයෙකු වූ හෙන්රි පාකර් මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ද බතලගොඩවැවේ මහා පරිමාණ ප්‍රතිසංස්කරණයක් සිදු කර ඇත. මෙම ප්‍රතිසංස්කරණයන්ගෙන් විද්‍යමාන වන ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 515 පෙරියකඩුනැලව ග්‍රාම සේවා වසම්මේ දක්නට ලැබෙන ගල විද සාදා තිබෙන දෝනාව ප්‍රබල සාක්ෂියක් වන අතර මෙම දියදෝනාව පාකර් මැතිතුමාගේ ඉංජිනේරුමය දැනුම හා ප්‍රවීණතාව පිළිබඳ මොනවට විදහා දක්වන විස්මිත නිර්මාණයකි.

බතල උඩ වැවේ මහා පරිමාණ සංස්කරණයන් සිදුකළ කළ ඉංග්‍රීසි ජාතික ඉංජිනේරු හෙන්රි පාකර් මැතිතුමාගේ මැදිහත් වීමෙන් හරියටම වසර සීයකට පසු එනම් 1994 වර්ෂයේදී රුපියල් ලක්ෂ 3000ක් ඇස්තමේන්තුවක් සකස් කරවා බතලගොඩ වැවේ ජල ධාරිතාව හා බතලගොඩ වැවෙන් පෝෂිත කුඩා වැව් 59 ක ජල ධාරිතාව වැඩි කිරීමත් සඳහා එම වැව්වල රොන්මඩ ඉවත් කිරීමටත් පියවර ගන්නා ලදී. 2012 වසරේ වැඩ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 1400 ක් වැයකර ඇති අතර ව්‍යාපාරයේ ජල ධාරිතාව අක්කර අඩි 2800කින් ඉහළ නංවා ඇත. ඉබ්බාගමුව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දෙකේම කුඹුරු අක්කර 7634 පමණ පෝෂණය කරන බතලේගොඩ වැව හිරියාල ට මහඟු සම්පතකි.