පරාක්‍රමබාහු රජුගේ රාජ සභා මණ්ඩපය

පරාක්‍රමබාහු රජුගේ රාජ සභා මණ්ඩපය

රාජ වෛශ්‍ය භූජංග’ යනුවෙන් නම් කොට ඇති මෙම මන්දිරයේ ගෙබිම අඩි පහයි අඟල් හයක් දිග ය. අඩි තුනයි අඟල් 6 පළල ය.පරාක්‍රමබාහු රජුගේ විජයොත්පාය ට ආසන්නයේ පිහිටා ඇත. ගොඩනැගිල්ලට පිවිසෙන ප්‍රධාන දොරටුව උතුරු දෙසට මුහුණලා පිහිටා ඇති අතර ඒ සඳහා වූ පියගැට පෙළ කොටස් දෙකක් වන සේ තනා ඇත. රජතුමා විසින් සිය උපදේශකයන්, නිලධාරීන් හා නීති සම්පාදකයන් සඳහා විශේෂයෙන් සකස් කළ මෙම ගොඩනැගිල්ල සඳහා වෙහෙර විහාර පූජනීය ස්ථාන සඳහා පමණක් යෙදූ නිර් මාණ යොදා ඇත. කොරවක් ගලින් සමන්විත වූ පඩි පහකින් යුතු පියගැටපෙළේ පහළ කොටස පාමුල සඳකඩ පහනක් වේ. දෙවෙනි පඩිපෙළ මුදුනේ දොරටුව දෙපස හිඳගෙන ඉන්නා විලාසයෙන් නෙළූ අතිශයින්ම කලාත්මක සිංහ රූප දෙකක් ද ඇත. අඩි 11ක් උස් වූ පාදමක් සහිත පේලි තුනකින් යුත් රාජසභා මණ්ඩපය ගණදෙවි රූප හා එකිනෙකට වෙනස් ස්වරූපයක් ගන්නා වූ හස්ති රූප පේලියකින් අලංකාර කර ඇත. ගොඩනැගිල්ලේ වහලය මල් මෝස්තරයන්ගෙන් අලංකාර වූ එක් පේළියකට ගල් ටැම් 12ක් බැගින් වූ ටැම් පේලි හතරක් මගින් දරා සිටී මෙම ගොඩනැගිල්ල අනුක්‍රමයෙන් කුඩා වන මහල් තුනකින් සමන්විතය. මෙම මහල් බොරදමින් අලංකාර කර ඇත. අත්තිවාරමේ ඉහල තීරුවේ උසුළු විසුළු ලීලාවෙන් ද , නර් තන විලාසයක් ද දැක්වෙන වාමන රූප පහක් තිබේ. ඊට පහළ තීරුවේ අලංකාර කොට ඇත්තේ මනහර හස්ති රූප පෙළකිනි.

මූලාශ්‍ර:-ඓතිහාසික ස්ථාන හඳුනා ගනිමු - පොළොන්නරුව