ථූපාරාමය

ථූපාරාමය

ශ්‍රී ලංකාවේ තැනූ ප්‍රථම බෞද්ධ ස්තූපය ලෙස අඩු අභිෂේක ලද මෙම චෛත්‍යය බුදු රජාණන්වහන්සේ පෙරටු කොටගෙන කරවූ ආරාමය යන අර්ථයෙන් ථූපාරාමය ලෙස හඳුන්වනු ලැබීය. මෙය දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද අතර මෙහි නිධන් වස්තු වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු දාතුව නිදන් කර ඇත. තවද මෙම ස්ථානයේ දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද සංඝාරාමයක් ද ලජ්ජිතිස්ස රජු විසින් චෛත්‍ය ආරක්ෂාවට මෙන්ම අලංකාරයට ද හේතු වන වටිනා වටදාගෙය ඉදිකර ඇත. පරසතුරු උවදුරු වලින් විනාශ වූ මෙම චෛත්‍යය ක්‍රිස්තු වර්ෂ එක්දහස් 1825 දී එවකට අටමස්ථානාධිපතිව සිටි අතිගරු මයිලගම රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරවන ලදී.

මතුපිට පෙනෙන ලක්ෂණවලට අනුව ස්තූපය ගොඩනංවා ඇත්තේ කවාකාර මළුවක් මත ය. මෙහි විෂ්කම්භය අඩි 164 අඟල් හයකි. අඩි 11 අඟල් 4 පොළොව මට්ටමෙන් උස්වන මළුව මත් ඇති ස්තූපයේ උස අඩි 60 හැට තුනක් වන අතර විශ්කම්භය අඩි 59 කි. පසුකාලීන විශාල දාගැබ් සමඟ සසඳන කල මෙය ඉතා කුඩා වුවත් හැඩය හා නිර්මාණය අතින් අති ශ්‍රේෂ්ඨ වාස්තු විද්‍යාත්මක ක්‍රමයට ගොඩනැංවූ චේතියගරය කි.

ස්තූපය වටා අලංකාර ලෙස ඒක කේන්ද්‍රීයව ගල් කුළුණු පේළි හතරක් පිළිවෙලින් උස අඩු වී යන ආකාරයට සිටුවා ඇත. පළමු කුළුණු පේලිය ගර්භයේ සිට අඩි තුනයි අඟල් එකක් දුරින් පිහිටුවා තිබේ. එම කුළුණු පන්තියෙන් අඩි 10 අඟල් අටක් දුරින් දෙවන වටය ද මෙහි සිට අඩි 9 අඟල් හතක් දුරින් තුන්වන කුළුණු වටය ද පිහිටුවා තිබේ. තුන්වන පන්තියේ සිට අඩි දහ හතරක් ඈතින් සතරවන කුළුණු පන්තිය පිහිටුවා ඇත.