රුවන්මැලි සෑය

රුවන්මැලි සෑය

ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන ලද පළමුවන දාගැබ ලෙස හඳුන්වයි. කකුද නම් වැව කෙළවර පිහිට වූ ටැම් ලිපියට අනුව ක්‍රි.පූ. 138 දී දුටුගැමුණු මහරජ රජතුමා විසින් මෙම ස්තූපය ගොඩනගන ලද බව සඳහන් ව ඇත. මෙහි ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ ද්‍රෝණයක් පමණ නිධන් කොට ඇත.

කාලීනව රත්නමාලී ස්වර්ණමාලි හේමමාලි රුවන්වැලි සෑ නම්වලින් සාහිත්‍ය ග්‍රන්ථවල මෙම ස්තූපය හඳුන්වා ඇත. එකල ස්තූපය අඩි 120 ක් උස විය. මෙහි වැඩ නිමවීමට ප්‍රථම දුටුගැමුණු මහ රජතුමා අභාවයට පත්වූ බැවින් සද්ධාතිස්ස රජු විසින් සෙසු වැඩ කොටස නිම කළේය. රුවන්වැලිසෑය ගොඩනැගීමේදී දුටුගැමුණු රජුතුමා එහි ආරම්භකයා ලෙස කටයුතු කර ඇත. ඉන්පසු මෙම ස්තූපය ගොඩනැගීමේදී රජවරු විශාල ප්‍රමාණයකගේ දායකත්වය මේ සඳහා ලැබී ඇති බව සඳහන් ව ඇත.

පරසතුරු උවදුරින් අනුරාධපුර රාජධානිය බිඳ වැටීමත් සමඟ මෙම චෛත්‍යය ගරා වැටී වන රොදින් වැසී ගොස් තිබියදී ක්‍රිස්තු වර්ෂ 1873 දී පමණ අනුරාධපුරයට වැඩම කළ අතිගරු පූජ්‍ය නාරංවිට සුමනසාර ස්වාමීන් වහන්සේගේ දැඩි උත්සාහය හා උනන්දුව මත ආරම්භ කළ ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රි.ව. 1902 දී පමණ පිහිටවනු ලැබූ රුවන්වැලි චෛත්‍ය වර්ධන සමාගම මගින් බෞද්ධ පින්වතුන්ගේ ආධාර ඇතිව ක්‍රි.ව.එක්දහස් 1938 කොත පැළඳවීමෙන් නිමාවට පත් කරන ලදී. මෙම විහාර මන්දිරයේ සුදුපැහැ ගලෙන් නෙලන ලද කකුසඳ කෝණාගම කාශ්‍යප හා ගෞතම යන සිව් බුදුන් වහන්සේලාගේ ප්‍රතිමා ඇත . තවද මෙහි දකුණු දොරටුව අසල භාතිය රජුගේ පිළිරුවක් හා සෙල්ලිපියක් ඇත.

මූලාශ්‍ර - ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පූජනීය ස්ථාන - එම්.රංජිත් ආරියවංශ පෙරේරා මහතා