ත්‍රිකුණාමලය කොටුව

ත්‍රිකුණාමලය කොටුව

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ත්‍රිකුණාමලය නගරයෙහි පිහිටා ඇත. අතීතයේ ගෝකණ්න ලෙස ව්‍යවහාර කරන ලදී. නගරයෙන් උසම ස්ථානයේ ස්වාමි කන්ද ආශ්‍රිත කොට ගනිමින් මෙම කොටුව ඉදි කරන ලදී. බෞද්ධ හා හින්දු ආගමික සම්බන්ධතා මේ ආශ්‍රිතව අතීතයේ සිට පැවතී ඇත. මෙහි තිබූ ජෛන නිගන්ඨාරාමයක් කඩා දමා මහසෙන් රජතුමා විසින් (ක්‍රි.ව. 275-724) එම විහාරයට ධර්ම ශාලාවක් ඉදි කරන ලද අතර 1624 දී පෘතුගීසි සෙනෙවියෙකු වූ කොන්ස්ටන්තිනෝ ද ෂා විසින් සියල්ල විනාශකොට බලකොටුවක් තනන ලදී.

ඉන්පසු ඕලන්ද ජාතිකයන් විසින් මෙම බලකොටුව විශාල කොට පවත්වාගෙන යනු ලැබීය. ඉංග්‍රීසීන් විසින් ලංකාව යටත් කර ගැනීමෙන් අනතුරුව මෙම කොටුව තවත් විශාල කොට එය පේද්‍රික් කොටුව ලෙස නම් කරනු ලැබීය. මේ කොටුව ආශ්‍රිතව වරින් වර කරන ලද කැණීම්වලදී පැරණි බෞද්ධ හා හින්දු පුරාවිද්‍යා වටිනාකම් සහිත මූර්ති සොයා ගෙන ඇත.

16 වන සියවසට අයත් ද්‍රවිඩ සෙල්ලිපියක් කොටුවට ඇතුලත් වන ප්‍රධාන පිවිසුම් දොරටුව අසල බැම්මට තබා තිබේ. මෙහි තිබූ හින්දු දේවාලය පෘතුගීසීන් විසින් විනාශ කළ බව ඉන් කියවේ. 1945 දී විෂ්ණු හා ලක්ෂ්මී මූර්ති දෙකක් හා ක්‍රි.ව. 1223 ට අයත් සංස්කෘත සෙල්ලිපියක් සොයා ගන්නා ලදී. චෝඩගඟදේව නැමැත්තකුගේ ගොඩබැසීම පිළිබඳව එහි සඳහන් වේ. මේ ආශ්‍රිතව බෞද්ධ මූර්ති ගණනාවක් ද හමු වී ඇත. වරින් වර මේ ආශ්‍රිත මුහුදේ කිමිදෙන්නන් විසින් මේවා ගොඩට ගෙන ඇති අතර පැරණි ගෝකකන්න විහාරයත් නටබුන් ද කොටුව තුළ දැකිය හැකි ය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ කඳවුරක් ලෙස කොටුවේ කොටසක් අදටත් යොදා ගැනෙන අතරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අතිරේක මැතිවරණ කොමසාරිස් කාර්යාලය යනාදී රජයේ වැදගත් ගොඩනැගිලි රාශියක් කොටු පවුර තුල කේන්ද්‍රගතව පවතී. කොටුව අභ්‍යන්තරයේ ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යන පන්සලක් ඇත. මෙය ක්‍රි.ව.3වන සියවසේදී මහසෙන් රජතුමා විසින් දේවාලයක් කඩා දමා එතැන ඉදි කළ, පසුව පෘතුගීසී ආක්‍රමණිකයන් විනාශ කර දැමූ, ගෝකණ්ණ රජමහා විහාරය නමින් පවත්වාගෙන යනු ලැබේ. එහි උසැති හිටි පිළිමවහන්සේ නමකි. මෙම පිළිමය පාමුල සිට ත්‍රිකුණාමල නගරය ඇතුළු අවට පරිසරය දර්ශනීයව දැකගත හැකිය. සුප්‍රසිද්ධ හින්දු දෙවොලක් වන තිරුකෝණේස්වරම් දේවාලයත්, ලවර්ස් ලීප් නම් මහා ප්‍රපාතයත් පිහිටියේද කොටුව ඇතුලතය. කොටුව තුල තුරු ගොමු, කඳු ගහන වටපිටාව කොටුවේ සුන්දරත්වය වඩ වඩාත් තීව්‍ර කරයි.

මූලාශ්‍ර -
https://en.wikipedia.org
https://commons.wikimedia.org
http://goplaces.lk
http://www.colonialvoyage.com