තිරුකෝනේස්වරම් කෝවිල

තිරුකෝනේස්වරම් කෝවිල

තිරුකෝනේස්වරම් හෝ කෝනේෂ්වරම් යන නම් වලින් හැඳින්වෙන මෙම ස්ථානය, ඒස්වරම් ප්‍රත්‍යයෙන් නම අවසාන වන සුප්‍රකට ශ්‍රී ලාංකේය කෝවිල් 5න් එකකි. වසර 6500ක ඉතිහාසයකට උරුමකම් කියන බව හින්දු පූජකයින් විශ්වාස කරන තිරුකෝනේස්වරම් කෝවිල රාම රාවණා යුගයේ සිටම පැවැත එන බව ඔවුන්ගේ විශ්වාසයයි.

මේ කෝවිල ශිව දෙවියන් උදෙසා ලොව පුරා ඉදි කර ඇති දේවාල අතරින් වඩාත් බලවත් දේවාලය මෙය බව බැතිමතුන්ගේ විශ්වාසයයි. ශිව දෙවිඳුන්, පාර්වතී දේවතාවිය වැඩ සිටි, කුඩා කාලයේ ගණදෙවියෝ හා මුරුගන් (කතරගම දෙවියෝ) ඇතුළු දේව කුමාරවරු මෙහි ක‍ෙළි සෙල්ලම් කළ පින් බිමක් යැයි ඔවුන් තරයේ අදහනු ලබයි.

ජනප්‍රවාදයකට අනුව අතීතයේ දෙවියන් අතර හටගත් ගැටුමක ප්‍රතිඵලයක් ලෙස දෙවියන් වැඩ විසූ රන් කන්දෙන් කොටසක් කැඩී වැටීමෙන් ඇතිවූ කඳුගැටය ලෙස කෝනේෂ්වරම් කෝවිල තිබෙන කඳුගැටය (ස්වාමි කන්ද) හඳුන්වනු ලබයි.

රාවණා රජ්ජුරුවෝ එකල ඍෂිවරු, මුනිවරු වගේ භාවනායෝගීන් ජීවත්වුණු "ගෝකණ්ණාශ්‍රමය" භූමියේදී (වර්තමාන කෝනේෂ්වරම් කෝවිල තියෙන තැන) ශිව දෙවියන් උදෙසා දැඩි ව්‍රතයක් සමාදන් වූ බවත් රාවණා රජ්ජුරුවෝ තමන්ගේ පීතෘවරයා විදියට සලකන ශිව දෙවියන්ගෙන් "අමරණීයත්වයට පත් වීමට" වරමක් ඉල්ලූ බවත් හා "ඔබ කිසිවකුත් අතින් නොමැරිය යුතු කෙනෙක්" යැයි එදා රාවණ රජ්ජුරුවන්ට ශිව දෙවිඳුන් වරම් දුන්නේ මේ කෝනේෂ්වරම් පිංබිමේදී බවත් ජනවහරේ සඳහන් වෙයි. මහා රාවණ රජ්ජුරුවෝ මේ භූමියේදී යෝග ධර්ම වඩද්දී විශ්වයෙන් ලැබුණු ශබ්ද තරංගයක් අනුව, ශිව දෙවියන්හට නමස්කාර කරන මහා බලවත් "ශිව තාණ්ඩව ස්ත්‍රෝත්‍රය" නිර්මාණය කරන්නටත් යෙදුණු බව සඳහන්වෙයි. ශිව-පාර්වතී දේව ශක්තියත්, රාවණා රජුගේ ආධ්‍යාත්මික ශක්තියත් මේ බිමේ ගැබ්ව පවතින නිසා මේ පිං බිම මහා අනුහස් ඇති බිමක් ලෙස හදුන්වයි.

නමුත් අද ෆ්‍රෙඩ්රික් කොටුවේ උච්චතම ස්ථානය වූ ස්වාමි කන්දේ මුදුනත අපට දක්නට ලැබෙන කෝවිල 1963දී අළුත්වැඩියා කර ඇත. කණු දහසකින් සමන්විතව තුබූ විවිධ ධනයන්ගෙන් හෙබි පැරණි තිරුකෝනේස්වරම් දේවාලය 1620 දශකයේදී පෘතුගීසි ආක්‍රමණිකයන් විසින් සමතලා කරවූ බව වාර්තා වේ. කෝවිලේ ප්‍රධාන උත්සවය වාර්ෂිකව අප්‍රියෙල් මාසයේදී පැවැත්වේ. දෛනික පූජාවන් උදැසන 7.15, 11 සහ සවස 4 යන වේලාවන්හී පැවැත්වේ.

මූලාශ්‍ර - http://www.allceylon.lk