තිරියාය වටදාගෙය

තිරියාය වටදාගෙය

ලෝකයේ ප්‍රථම චෛත්‍යය හා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියේම ඉදිකල චෛත්‍යය ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන මෙම සිද්ධස්ථානය ත්‍රිකුණාමලය නගරයට උතුරින් පුල්මුඩේ පාරේ කි.මී. 45 ක් පමණ ඈතින් ඇති තිරියාය පුදබිම ‘නීතුපත්පාණ’ ‘ගිරිහඬු සෑය’ ආදී නම් වලින් හඳුන්වයි. මෙය ත්‍රිකුණාමල දිසාවේ කඩ්ඩුකුලම් පත්තුවේ තිරියාය නම් ගමේ පිහිටා තිබේ. යාන්ඔය නිම්නයේ දර්ශනීය කඳු ශිඛරයක් මත තිරියාය වටදාගේ සහිත විහාර සංකීර්ණයක නටබුන් දැක ගැනීමට හැකියාව ඇත.

චෛත්‍යය වෙත පිවිසීම සඳහා කන්දේ දකුණු පැත්තෙන් පියගැටපෙළක් නිර්මාණයකර ඇත. පළමුවෙන් කුඩා චෛත්‍යක් නිර්මාණය කර ඇති අතර ක්‍රි.ව. අටවන සියවසේ දී පමණ මෙම චෛත්‍යය විශාල කර වටදාගෙය නිර්මාණය කර ඇත. වෘත්තාකාර වේදිකාවක් මත නිර්මාණය කර ඇති මෙහි වටා ගල් කුළුණු පේළි දෙකක් ඇත. ඒ වටා වෘත්තාකාර බිත්තියක් ඉදිකර තිබේ. මේ බිත්තිය මත තැනින් තැන ලී කුළුණු සවි කිරීමට තැනූ කුහර පිහිටා තිබේ. සිව් දිසානු ගතව පඩි පේළි 4ක් නිර්මාණය කොට ඇත. හතර දිසාවේ මල් ආසන හතරක් ද පිහිටුවා තිබේ.

ක්‍රි.පූ. මුල් සියවස් කීපය තුළදී මෙම ස්ථානයේ භික්‍ෂූන් වහන්සේලා වැඩ විසූ බවට නිගමනය කළ හැකි කටාරම් ලකුණූ සහිත ගල්ලෙනක් ද දකින්නට ලැබේ. ඒ යටින් පාඨයක්ද කොටා ඇත. එය අටවන සියවසට අයත් යැයි අනුමාන කරන අතර එහි මෙය හඳුන්වා ඇත්තේ ‘ගිරිකණ්ඩි’ යනුවෙනි.

තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් කළ ගිරිගඬු සෑය මෙය ලෙස ජනප්‍රවාදයේ පවතී.එසේම මෙහි ගල් පරයක ක්‍රි.ව. 8 වෙනි සියවසට අයත් සංස්කෘත භාෂාවෙන් කරන ලද සෙල් ලිපියක් ද දැකිය හැකි ය. සෙනරත් පරණවිතානයන් විසින් මෙම සෙල් ලිපිය පිළිබඳ අදහස් දක්වමින් “උස් කළ කුට්ටිමයේ ගලක ලිපියක් කොටා තිබේ. එය ‘රක්සල් බතින් ලැබූ ප(හ) ණ’ යනු යි. රක්සල් බත නැමැත්තා විසින් පිහිටුවන ලද ගල යනු මෙහි අර්ථය යි. තිරියායේ වටදාගේ ඉදිකරන්නට ඇත්තේ ද මෙම වකවානුවේදි විය හැකි ය. මේ ආශ්‍රිතව විහාර ගෙයක හා වෙනත් ගොඩනැගිලිවල අවශේෂ දැකිය හැකි ය.

මූලාශ්‍ර - ජාතික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව