මඟුල් මහා විහාරය

මඟුල් මහා විහාරය

පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලුහුගල ගමේ පිහිටා තිබේ. මොනරාගල පොතුවිල් ඒ-4 මාර්ගයේ ගමන් කල විට හමුවන සියඹලාන්ඩුව හංදියේ සිට කි.මි 18ක් පමණ දුරකදී මුණ ගැසෙන පන්සල්ගොඩ හංදියෙන් දකුණට හැරී තවත් කි.මි. 1/2ක් පමණ ගිය විට මෙම ඓතිහාසික පුරා විද්‍යාත්මක වටිනාකමින් හෙබී සිද්ධාස්ථානයට ළඟාවීමට පුළුවන. රුහුණ මහා විහාරය නමින් කාලයක් හැඳින්වූ මෙය ධාතුසේන රජු විසින් කරවන ලද්දකි. පසුව ගම්පොල හතරවන බුවනෙකබාහු හා දැදිගම පස්වන පරාක්‍රමබාහු රජවරුන්ගේ බිසව වූ විහාරමහා දේවී බිසව විසින් දාහතරවන සියවසේ දී මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කරවා තිබේ. එම බිසවට අයත් සෙල්ලිපි දෙකක් මෙම ස්ථානයේ පවති. එහි තිබෙන එක් සෙල්ලිපියක සදහන් මෙම පාඨයද එම මතය ඇතිවන්නට හේතු සාධක සපයා ඇත.

ශ්‍රී සිරි ලක්හි රජකළ දාසෙන් කැලි රජ දරුවන් දෑ කරවූ මේ රුනු මෙහෙවර මහා වල් වෑ තුබුවා දැක සොළී සේනාව මැඩැ රුණු රට රජ කරන පැරකුම්බා දෙබෑ රජ දරුවන් දෙදෙනාට අගමෙහෙසින් වූ විහාර මහා දේවී නම් මා විසින් මුල පිසැ කරවැ දරුලම් වටනා පස පරිවාර සහිතවැ බදවස් කොටැ මා විසින් කරවන ලද මෙ සියලු පින්කම් මතු වන යුව රජ ආදිනුත් අනු පැවැත්විය යුතු බැවින් මා නමින් කළ විහාරදේවී පිරිවෙන මෙ වර බව දත යුතු.

මේ සෙල්ලිපියේ අක්ෂර අනුව එය ගම්පොළ යුගයට අයත් යැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා තීරණය කර ඇත. මෙහි සඳහන් දෙබෑ රජ දරුවන් පස්වන පැරකුම්බා සහ හයවන බුවනෙකබා යන දෙසොහොයුරන් බව ද හේ පවසයි.

විශාල කළුගල් පුවරු භාවිතයෙන් ඉදිකළ ප්‍රාකාරයකින් වට කරන ලද ප්‍රදේශයේ බෝධීඝරයක්,පිළිම ගෙයක්,දැගැබක් ,උපෝසථාගාරයක්, මෙහි ගොඩනඟා තිබේ. ප්‍රකාර බැම්මට පිටින් වටදාටගයක හා ආසනඝරයක අවශේෂයන් පවතී.

ග්‍රන්ථ මුලාශ්‍ර - පෞරණික ස්ථාන සහ ස්මාරක (අම්පාර) අන්තර් ජාල මුලාශ්‍ර - සහෘද තොටුපළ, බුදු සරණ අන්තර් ජාල කලාපය වෙබ් අඩවි ඇසුරිනි.