බුද්ධංගල

බුද්ධංගල

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, අම්පාර නගරයට ආසන්නව අක්කර 1280ක පමණ වපසරියක් පුරාවට පිහිටා ඇති බුද්ධංගල ආරණ්‍ය සේනාසනය මීට වසර 2300කට වඩා පැරණි ඉතිහාසයක් සහිත ගල්තලාවක් මත ගොඩනගන ලද පුදබිමකි.

මෙම ගල්තලාවේ අඩි 500ක් පමණ උස් වූ එක් ගල්පරයක් මත දාගැබක අවශේෂ ගඩොල් කැබලි සහිත ගොඩනැගිල්ලක් පවතී. මිහිදු මහරහතන් වහන්සේ විසින් දඹදිව විදිසාවෙන් වැඩම කරවූ සර්වඥධාතූන් වහන්සේලා සහ අග්‍රශාවක ධාතූන් වහන්සේලා , සාංචි ස්තූපයේ අනුරුවකට අනුව සැකසු දඹ රන් කරඩුවක තැම්පත් කර, එවක රුහුණුට තිබූ එකම වටදාටගෙය වු මෙහි ලා නිදන් කර තිබේ. මෙම ගල්තලාව මත ගොඩනැගිලි තුනක අවශේෂයන් ද දැකිය හැකි ය. නැගෙනහිර බෑවුමේ සක්කා ගල්වලින් කරන ලද ආධාර බැම්මක සාධක ද චාම් මුරගල් දෙකක් හා කොරවක් ගලක් ද බටහිර පැත්තෙන් කටාරම් කෙටූ ගල්ලෙන් කිහිපයක් ද දක්නට ලැබේ.

ක්‍රිස්තු පූර්ව 2-3 වන සියවස් කාලයේ පණ්ඩාවාසදේව රජ සමයේ ලක්දිවට පැමිණි දීඝායු කුමාරයා දීඝගම, දීඝවාපීරට්ඨ , දිගාමඩුල්ල යන නම්වලින් හැඳින්වූ මෙම දිගාමඩුලු ප්‍රදේශයේ රජකම් කරන ලදී. මහින්දාගමනයෙන් පසු ප්‍රබෝධමත්බාවයට පත් වූ මෙම බුද්ධංගල අරණ, රහතුන් වහන්සේලාගේ නිජ භූමියක් බවට පත්විය. චිත්‍රා දේවියගේ ආදායම් පාලක ප්‍රමුඛ උත්තියගේ පුතු, සුජාතාගේ ලෙන ද දීඝති ප්‍රභූකරවූ ලෙන ද මෙම ආරණ්‍යයේ පැමිණි නොපැමිණි සංඝයා වෙත පූජා කළබව ගලලෙන්වල සඳහන් වෙයි.

මුලාශ්‍ර - ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය