පිදුරුතලාගල කන්ද

පිදුරුතලාගල කන්ද

‍මෙය ලංකාවේ උසින් වැඩිම කන්ද ලෙස සැලකේ. එබැවින් දවසේ වැඩිම කාලයක් මීදු‍මෙන් වැසී පවතී. මුහුදු මට්ටමේ සිට මීටර් 1800 ක් පමණ උසකින් පිහිටි නුවරඑළිය නගරයට ආසන්නයෙන් ඇරඹෙන මෙම කන්ද මීටර් 2524ක උසකින් (මුහුදු මට්ටමේ සිට) යුක්තය. පිදුරුතලාගල කන්දට මෙම නම ලැබී ඇත්තේ 1940 දශකයේ පමණ ය. එහි මුදුන තිරස්ව විහිදුණු ගල් තැනිතාලාවකි. වියළි තෘණවලින් මෙය වැසී පවතී. එවක නුවර එළිය ප්‍රදේශයට පැමිණි වියළි කාලගුණ තත්වයක් හේතුවෙන් මෙම තෘණ, කමතක පිදුරු තැළුවා මෙන් වියළී ගියේලු.කට වහරින් පිදුරු තැළුව ගල, පිදුරුතලාගල යැයි නම් ලැබුවේලු. මෙම කන්ද ආශ්‍රිත වනාන්තරයේ දැකිය හැකි ශාක හා සතුන් බොහොමයක් අපේ රටට ආවේණික ය. මීවන වර්ග,බාඳුරා මල්, බිනර වර්ග,උඩවැඩියා වර්ග,දිවියන්, ගෝනුන්,දඬු ලේනුන් උදාහරණ ලෙස දැක්විය හැක. මෙහි ළා කොළ වෘක්ෂලතා දක්නට ලැබෙන අතර ගිම්හාන කාලයේ දී සුදුමැලි කහ වර්ණයට හුරු පිඳුරු පැහැයක් ගනී.එබැවින් මෙයට පිඳුරු ලාඩන් කන්ද හෙවත් පිදුරුතලාගල යන නම ලැබී ඇත. දියඇලි රැසකින් හැඩවී ඇති මෙම කන්ද ”පෙද්‍රෝකන්ද” යනුවෙන් ද හැදින්වේ.

කඳුමුදුනේ සිට බැලූවිට (මීදුමෙන් තොර, පැහැදිලි දිනකදී) හග්ගල, ශ්‍රීපාදය, කිකිළියමාන, සින්ගල් ට්‍රී, කොනිකල් හිල්, හෝර්ටන්තැන්න, තොටුපළකන්ද යන සුන්දර ස්ථාන දැකගැනීමේ අවස්ථාව ලැබේ. රූපවාහිනී සංස්ථාවේ කුලුනු, ගුවන්විදුලි සම්ප්‍රේෂණ කුලුනු මෙහි පිහිටුවා ඇති හෙයින් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම්කර ඇත. එයට වඩා වැදගත් කරුණ නම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාලනය කරන ආරක්ෂක හමුදාවන්හි රේඩාර් පද්ධතිය මෙහි පිහිටුවා තිබීමයි.මේ නිසා මෙය අධි ආරක්ෂිත කලාපයකි.